කොටියෙක් මරා මස් අලෙවි කළ තිදෙනෙකුට ඇප

කොටියෙක් අල්ලා ඝාතනය කර මස් අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකුට ඇප..

by Staff writer 28-06-2021 | 9:15 PM

COLOMBO (News 1st)  - මද්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර, මස් අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැරීමට වලපනේ මහේස්ත්‍රාත්වරයා අද(28) නියෝග කර තිබේ.

ඒ, එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මතයි. මෙසේ ඇප මත මුදා හැරුණේ වලපනේ, මුර්ඔය වතු යායේ පදිංචිකරුවන් තුන්දෙනෙකි. සැකකරුවන් පසුගිය ජුනි මස 23 වැනි දා වලපනේ මුර්ඔය තේ වත්තේ මද්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර ඇති අතර ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරූපයක් එක් සැකකරුවෙකු විසින් ඔහුගේ මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර තිබේ. එම ඡායාරූපය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව නල්ලතන්නිය වනජීවි කාර්යාලය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. නඩුව ලබන සැප්තැම්බර් මස 07 වැනි දා කැඳවීමට නියමිතය.