BREAKING: බලපත්‍ර ගන්නා තෙක් තිස්සමහාරාම වැවේ ව්‍යාපෘතිය නතර කරන්න - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 26-06-2021 | 4:15 PM

COLOMBO (NEWS1ST) : පුරාවිද්‍යා බලපත්‍ර ලබා ගන්නා තෙක් තිස්සමහාරාම වැවේ ,චීන - ශ්‍රී ලංකා හවුල් සමාගම කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතිය නතර කරන්නැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) පැවසී ය.   මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගිය දා චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ, චීන හමුදා කැළෑ ඇඳුමට සමාන ඇඳුම් හැදගත් චීන ජාතිකයින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙනි. වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20 වනදා ආරම්භ වුණේ, විෂයභාර අමාත්‍යවරයාගේ ද සහාගීත්වයෙනි. තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලද බවට සැලකෙයි. තිස්සමහාරාම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක්කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නකි.