තිස්සමහාරාම වැවේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතී

වැව හාරන චීන ජාතිකයින් ගැන අසද්දී ඇමති මහින්දානන්දට උත්තර නැති වුණේ ඇයි?

by Staff writer 26-06-2021 | 10:17 PM

COLOMBO (NEWS1ST) : වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි . පසුගිය 20 වනදා හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරී‍මේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ විශය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ව්‍යෘපෘතිය සදහා චීනයේ නිෂ්පාදිත ජෙට් සක්ෂන් වර්ගයේ විශාල යන්ත්‍රයක් ද ස්ථාපිත කර තිබූ අතර ඉන් පැයකදී රොන් මඩ කියුබ් 100 ක් වැවෙන් ගෙඩාගනු ලබයි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජකළ දේවානම් පියතිස්ස රජු විසින් මෙම තිස්සමහාරාම වැව ඉදිකළ බවට සැලකේ. මේ අතර මෙම රොන් මඩ ඉවත් කිරීමෙ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව දක්වන්නේ මෙවැනි අදහසක් .
''දැන් මේක මේ හාරන්න පටන් අරන් තියෙන්නේ වැවේ ,ජල මට්ටම වැඩියෙන් පිරෙන මායිමේ .ගොඩ වෙලා තියෙන කොළ පාටට ගොඩ වෙලා තියෙන ප්‍රදේශයේ තමයි හෑරිය යුත්තේ, එහෙම වුණොත් තමයි. මේ වැවට වැඩි ජල ධාරිතාවක් පුරවන්න පුළුවන්. හාරන්න ඕනේ මේ පැත්තෙන් හාරන්නේ ඒ පැත්තෙන්. කතන්දරයක් තියෙනවා. මේක ඓතිහාසික පෞරාණික වැවක් .මේ වැවේ ඒ රජ කාලේ තිබිච්චි නටඹුන් නෂ්ටාවශේෂ පුරාවස්තූන් ගණනාවක් තියෙනවා. දැන් මේ වැව හාරන්න පටන් අරන් තියෙන ඒ මායියේ චුට්ටක් එහානින් තමා එදා රජ දවසේ රජ බිසෝ වරු ස්නානය කරපු බිසෝ වළ කියන ඒ භූමිය පිහිටලා තියෙන්නේ .එතකොට ඒ හාරන්න පටන් ගත්තු ඒ සිමාව මීට පෙර අපේ ජනතාව දැකලා තියෙනවා ඕන තරම් ගල් කණු පිටින් තිබුණා .මේක හාරන්න පටන් ගත්තාට පස්සේ ඒ ගල් කණුවලට වෙච්ච දෙයක් නෑ''
ඓතිහාසික වටිනාකමක් ඇති අපේ උරුමයක් වන තිස්සමහාරාම වැවට සිදුවන්නට ගිය හානිය දින 6ක් වැනි කෙටි කාලයක් තුළ වළක්වා ගැනීමට පියවර ගත් පුරාවිද්‍යා අධ්‍යක්ෂන ජනරාල් වරයා ඇතුළු පුරාවිද්‍යා දොපර්තමේන්තුවටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝගයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කෙරුණ ද ව්‍යපෘතියට සම්බන්ධ ඇතැම් චීන ජාතිකයින් චීන මහජන විමුක්ති හමුදාවේ කැළෑ නිළ ඇඳුමට සමාන ඇඳුම් ලා ගෙන සිටීම සම්බන්ධයෙන් තවමත් සංවාදාත්මක තත්ත්වයක් පවතී. මෙම චීන ජාතිකයින් ඇඳ සිටින ඇඳුම සහ චීන මහජන විමුක්ති හමුදාවේ කැලෑ නිල ඇඳුම අතර ඇති වෙනස කුමක්ද ? මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පාර්ශවයකින් නිල පැහැදිලි කිරීමක් සිදු කර නොමැත. මෙම චීන ජාතිකයින් ඇත්තටම කවුද ? මේ අයුරින් වෙනත් රටක හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක් තවත් රටකදී භාවිත කළ හැකි ද? මේ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශවයෙන් මාධ්‍යවේදිහු ස්ථාන කිහිපයකදී විමසා සිටියහ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී පිළිතුරු නොදී පිටව ගියේ ය. මාධ්‍ය අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොපැකිලෙන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙසේ ප්‍රශ්නයෙන් මග හරින්නේ ඇයි? ප්‍රශ්නයට බිය නිසාද? වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තමාගේ සම්බන්ධයක් නැති නිසාද? මේ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී පොදුජන පෙරමුණු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ, තමන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති බවයි.