JUST IN : තිස්ස වැවේ ප්‍රතිසංස්කරණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන නැහැ

by Staff writer 25-06-2021 | 10:53 AM

COLOMBO (NEWS1ST) :තිස්සමහාරාම වැවේ, චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සොයා බැලීම සඳහා තම නිලධාරි කණ්ඩායමක් යෙදවූ ඇති බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සියලුම ආකාරයේ මෙවැනි සංවර්ධන කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවරසය ලබා ගැනීම අනිවර්යය වුවද බොහෝ කාලයක් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙය සිදු නොවූ බවයි. තව ද ඉපැරණි වැව් හාරන්නේ නම්, හානි ඇගයීම් සමීක්ෂණයක් සිදු කළ යුතු බවත් වැව හැරීමේ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පුරාවිද්‍යා ක්‍රමවේදවලට අනුව සිදු කරන ලෙස දැනුම් දුන් බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය. තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැං වූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලද බවට සැලකෙයි. තිස්සමහාරාම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක්කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නකි. මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගිය දා චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ, චීන හමුදා කැළෑ ඇඳුමට සමාන ඇඳුම් හැදගත් චීන ජාතිකයින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙනි. වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20 වනදා ආරම්භ වුණේ, විෂයභාර අමාත්‍යවරයාගේ ද සහාගීත්වයෙනි. මේ වන වන විටත් ජෙට් සක්ෂන් යන්ත්‍රයක් හරහා පැයකට වැලි කියුබ් 100 ක ප්‍රමාණයක් වැවෙක් ගොඩගනු ලබයි. ශ්‍රී ලංකාවේ වැව් පද්ධතිය ලෝක ජල උරුමයකි. ලෝකයේ එකම වැව් ශිෂ්ටාචාරයක් ඇති රටත් හැටියට අපේ රට උතුම් ස්ථානයක් ගන්නා වග නිව්ස් ෆස්ට් අපි වසර ගණනාවත් තිස්සේ වාර්තා කළෙමු.

'අපේ මුතුන් මිත්තන් වැව් හෑරුවේ නැහැ. ඔවුන් වැව් බැන්දා...'

මේ ආකාරයෙන් විදේශිකයින් ලවා සිදු කරන මේ කටයුතු පිළිබඳව ජනතාව හොඳින් බලා සිටී .