බලපිටිය මූලික රෝහලට වෛද්‍ය උපකරණ

විපක්ෂයෙන් හුස්මක්: බලපිටිය මූලික රෝහලට වෛද්‍ය උපකරණ

by Staff writer 24-06-2021 | 10:02 PM

COLOMBO (News 1st) - සුවපත් දේශයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනෙහි තවත් අදියරක් යටතේ බලපිටිය මූලික රෝහලට වෛද්‍ය උපකරණ ලබා දී තිබේ.

මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ, ඊයේ දිනට යෙදී තිබුණු දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 97වන ජන්ම දිනය නිමිති කර ගනිමිනි. ලබා දුන් වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ හතලිහකට ආසන්නයි. රණසිංහ ප්‍රේමදාස මහතා ජන්ම ලාභය ලැබූ බලපිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කළේ, සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන සහ ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදු කරන සමාජ සත්කාර වැඩසටහනෙහි 17 වන පියවර ලෙසය. බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බී.ජී.ඒ. චන්දන රත්නසිරි මහතා විසින් අදාළ පරිත්‍යාග භාරගනු ලැබුවේ ය.