කෝටි 50 හෙරොයින්:SI ඇතුළු තිදෙනා රිමාන්ඩ්

රු. කෝටි 50ක හෙරොයින් ප්‍රවාහනය කළ SI ඇතුළු තිදෙනා රිමාන්ඩ්

by Staff writer 24-06-2021 | 9:43 PM

COLOMBO (News 1st) - දකුණු කළුතර පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කර තිබේ.

රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පසුගිය 18 වැනි දා අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරුවන් මේ දක්වා සිටියේ රැඳවුම් භාරයේ ය. මේ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් නොමැති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ. සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා මීට පෙර ද නිල ඇඳුමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ නිසා මෙම සැකකරුවන් රිමාන්ඩ් කිරිමෙන් පසු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන්නැයි ද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. ඔවුන් ඉල්ලා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විදේශීය සම්බන්ධතා ඇති බවට සැක කරන නිසා තවත් දුරකතන අංක දහයක ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙස අදාළ දුරකතන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසය. කරුණු සකලා බැලු මහේස්ත්‍රාත්වරයා එම දුරකතන වාර්තා ලබා දෙන්නැයි ද අදාළ සමාගම්වලට නියෝග කළේ ය.