බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව..

බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව..

by Staff writer 24-06-2021 | 8:28 PM

COLOMBO (NEWS1ST) : පොසොන් පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාර 28 ක සිටි රැඳවියන් 93 දෙනෙකුට ජනාධිපති විශේෂ සමාව හිමිවිය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, එම රැඳවියන් අතරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටි රැඳවියන් 16 දෙනෙකු ද සිටින බවයි. ‍ ඉන් රැඳවියන් 15 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයෙනුත් එක් රැඳවියෙකු යාපනය බන්ධනාගාරයෙනුත් නිදහස් කර තිබේ. ඊට අමතරව සාමාන්‍ය වැරදිවලට බන්ධනාගාරගතව සිටි තවත් රැඳවියන් 77 දෙනෙක් නිදහස ලැබූහ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, නිදහස ලැබූ රැඳවියන් PCR පරීක්ෂණවලට ලක් කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඔවුන් නිවස තුළ නිරෝධායනය සඳහා පිටත් කර හරින බවයි. මේ අතර මරණ දඬුවම නියමව බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ජනාධිපති විශේෂ සමාව යටතේ අද නිදහස් කර තිබේ.