තිස්සමහාරාම වැව හාරන වැඩ බිමට බුද්ධි අංශ ගියේ ඇයි?

by Staff writer 24-06-2021 | 9:18 PM

COLOMBO (NEWS1ST) : තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමට යැයි, කියමින් ආරම්භ කළ ව්‍යපෘතියේ කටයුතුවල නිරත වී සිටින චීන හමුදා කැළෑ නිළ ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටින චීන ජාතිකයින් පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල මහතා පැවසුවේ මෙරට අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර කිසිදු ගැටලුවක් නැතැයි, පැවසූ බවයි . ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයෙන් කිසිවක් නොලැබෙන බව ත් ව්‍යාපෘතියෙන් ලාබයක් ලබා ගත හැක්කේ, මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණක් බවත් ය.
''ඒක සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ඕවරෝල් කිට් එකක් ඒක. මම හිතන විදිහට ඊයේ වෙච්ච දේත් එක්ක ,බුද්ධි අංශ නිලධාරීන් පැමිණිලා කැමා කිට් එකත් එක්ක සසඳලා බලලා ,කිව්වා මේක කිසිම දේක ප්‍රශ්නයක් කර ගන්න එපා. ප්‍රශ්නයක් නෑ. මේක වැඩ බිමක සාමාන්‍යයෙන් චීන කට්ටිය අඳින දෙයක්. අපිත් ඒක ලොකුවට හිතුවේ නෑ. මොකද මේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මාස 06 ක් විතර වෙනවා. ඒ අය පාරේ සැරිසරනවා. දැන් මාසයක් මේ කට්ටිය තිස්ස මහාරාමෙ ඉන්නවා. ඇත්තටම මම මෙක එක හෙලාම කියනවා මේක කවදාවත් ,චීන හමුදා ඇඳුමක් මොකවත් නෙවෙයි , ඔබතුමාට වුණත් බලන්න පුළුවන් බුද්ධි අංශ නිලධාරීනුත් මේක අල්ලා බලලා අපිට කිව්වා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා .රජයෙන් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. අපිට මෙකෙන් ලාභයක් ලබා ගන්න තියෙන්නේ මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණයි''
පසුගිය දින කිහිපයේම චීන යුද හමුදා කැලෑ නිළ ඇදුමට සමාන ඇඳුමින් සැරසී තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යෘපෘතියේ නිරතව සිටින‍ චීන ජාතිකයින් පිළබඳව අපි තොරතුරු වාර්තා කළෙමු. ඊයේ පස්වරුවේ අප වාර්තාකරු එම ස්ථානයට යන විට අදාළ ඇදුමින් සැරුසුණු කිසිවෙකු දක්නට නොලැබිණ. මෙම වැඩ බිමේ පසුගිය දිනවලදී චීන ජාතකයින් ඇඳ සිටි ආදාළ ඇඳුම් කට්ටලයක් අප වාර්තාකරුට පෙන්වීමට ද ඔවුහු කටයුතු කළහ. එය පරික්ෂා කළ අපට දැකගත හැකි වුණේ, සාමාන්‍යයෙන් හමුදා නිල ඇඳුමක ලාංඡන සහ සළකුණු රැඳවිය හැකි ස්ථාන ඒ අයුරින්ම මෙම ඇඳුමමේ ද දැක ගත හැකි බවයි. චීන හමුදා භාවිත කරන කැළෑ නිල ඇඳුම සහ තිස්සමහාරාම වැව හාරන ව්‍යාපෘථියේ නිරතව සිටින චීන ජාතිකයින් ඇද සිටි මෙම ඇඳුම අතර වෙනස කුමක්ද ? මේ සම්බන්ධයෙන් අදහස් කළ පළ කරමින් විශ්‍රාමික ලුතිනල් කර්නල් චන්න කරුණාරත්න මහතා පැවසුවේ, රටවල් දෙකක් අතර යුද සම්මුති නැතුව කිසිම හේතුවක් නිසා හමුදා රෝල් එක තුළ වෙනත් රටක මෙහෙයුම් කිරීමේ බලයක් නොමැති බවයි.
''රටවල් දෙකක් අතර යුද සම්මුති නැතුව කිසිම හේතුවක් නිසා හාමුදා රෝල් එක ඇතුළේ වෙනත් රටක මෙහෙයුම් කිරීමේ බලයක් නෑ . ඒ අය නිල ඇඳුමෙන් නිළ මෙහෙයුමක යෙදී සිටිනවා නම්, අපි මෙච්චර බට පිරිසක් ගේනවා කියලා අපේ රටට දැනුම් දෙන්න ඕනේ. දැන් මෙතන වැව හාරන්න හමුදාව අවශ්‍යද? මේ ඇවිල්ලා තියෙන්නේ හමුදාවක්ද? රජය මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ .චීනෙත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ ''
මේ අතර මෙම ඇදුම් සම්බන්ධයේන චීන තානාපති කාර්යාලෙය් නිල ට්විටර් ගිණුමෙන් දිගින් දිගටම ප්‍රතචාර දක්වමින් සිටී. ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නිව්ස් ෆස්ට් අදාළ පුද්ගලයින් චීන හමුදා සාමාජිකයින් නොවන බව හා එම ඇඳුම් ලා ගත් පිරිස කම්කරුවන් වන බව දැන දැන නොමග යවන සිරස්තලයක් වාර්තා කර ඇති බවයි . එම ට්විටර් පණිවිඩයට ප්‍රචාර දක්වමින් නිවුස් ෆස්ට් අවධාරණය කළේ, අප එවැනි තොරතුරක් වාර්තා නොකළ අතර චීනයේ ට්විටර් වාරණයක් ඇති බැවින් ඔවුන් එම නිදහස ශ්‍රී ලංකාවේ බුත්කි විඳිමින් ඇති බවයි. ‍

ඔබ ශ්‍රී ලංකාවේ නිදහස විදින්න... නමුත් ශ්‍රී ලංකාවේ නීතියට ගරු කරන්න...

යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ නිවුස් ෆස්ට් චීන තානාපති කාර්යාලයට අවාධාරණය කර තිබිණ. මේ අතර ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්  තිස්සමහාරාම වැව් භූමියේ රොන් මඩ සහ මඩ ඉවත් කරන ස්ථානයට අද පැමිණියහ. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසුවේ, එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලියක් බවත් වහාම එය නතර කළ යුතු බව ත් ය. කෙසේ‌ වෙතත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ, එම ඇඳුම වර්කින් ඕවරෝල් එකක් බව ත් වර්කින් ඕවරෝල් එකක් ගැන නොදන්නා පිරිස් එය හමුදා ඇඳුමක් යැයි සිතන බවත් ය. අද රටේ තත්ත්වය මෙය නම්, ඉදිරියේදී කුමක් සිදුවේදැයි ප්‍රකාශ කළ නොහැකි බව  නාරාහේන්පිට අභයාරාමාධි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.