අමුතු ඇඳුම් බුද්ධි අංශයේ පරීක්ෂාවට

තිස්සමහාරාම වැව් භූමියේ අමුතු ඇඳුම් බුද්ධි අංශයේ පරීක්ෂාවට

by Staff writer 24-06-2021 | 1:53 PM

COLOMBO (NEWS1ST) : තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමට යැයි, කියමින් ආරම්භ කළ ව්‍යපෘතියේ කටයුතුවල නිරත වී සිටින හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන ඇදුම් ඇඳ සිටින චීන ජාතිකයින් පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.

එම ව්‍යාපෘතියේ නිරත ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල මහතා පැවසුවේ, අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර කිසිදු ගැටලුවක් නැතැයි පැවසූ බවයි . ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයෙන් කිසිවක් නොලැබෙන බව ත් ව්‍යාපෘතියෙන් ලාබයක් ලබා ගත හැක්කේ, මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණක් බවත් ය.
''ඒක සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ඔවරෝල් කිට් එකක් එක. මම හිතන විදිහට ඊයේ වෙච්ච දේත් එක්ක ,බුද්ධි අංශ නිලධාරීන් පැමිණිලා කැමා කිට් එකත් එක්ක සසඳලා බලලා ,කිව්වා මේක කිසිම දේක ප්‍රශ්නයක් කර ගන්න එපා. ප්‍රශ්නයක් නෑ. මේක වැඩ බිමක සාමාන්‍යයෙන් චීන කට්ටිය අඳින දෙයක් .අපිත් ඒක ලොකුවට හිතුවේ නෑ. මොකද මේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මාස 06 ක් විතර වෙනවා. ඒ අය පාරේ සැරිසරනවා. දැන් මාසයක් මේ කට්ටිය තිස්සමහාරාමෙ ඉන්නවා. ඇත්තටම මම මෙක එක හෙලාම කියනවා මේක කවදාවත් ,චීන හමුදා ඇදුමක් මොකවත් නෙවෙයි , ඔබතුමාට වුනත් බලන්න පුළුවන් බුද්ධි අංශ නිලධාරීනුත් මේක අල්ලලා බලලා අපිට කිව්වා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කියලා ,රජයෙන් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. අපිට මෙකෙන් ලාභයක් ලබා ගන්න තියෙන්නේ මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණයි''
පසුගිය දින කිහිපයේම යුද හමුදා කැළෑ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී තිස්සමහාරාම වැව හාරන ව්‍යෘපෘතියේ නිරතව සිටින‍ චීන ජාතිකයින් පිළබඳව නිව්ස් ෆස්ට් තොරතුරු වාර්තා කළේ ය. ඊයේ පස්වරුවේ අප වාර්තාකරු එම ස්ථානයට යන අවස්ථාව වන විට අදාළ ඇඳුමින් සැරුසුණු කිසිවෙකු එහි දක්නට නොලැබිණ. වැඩ බිම්වලදී ඇඳ සිටින බව කියන, හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන මෙම ඇඳුම සාමාන්‍යයෙන් හමුදා නිල ඇඳුමක ලාංඡන සහ සළකුණු රැඳවිය හැකි ස්ථාන ඒ අයුරින්ම මෙම ඇඳුමෙත් දැක ගත හැකියි. චීන හමුදා භාවිත කරන කැළෑ නිල ඇඳුම සහ තිස්සමහාරාම වැව හාරන ව්‍යාපෘතියේ නිරතව සිටින චීන ජාතිකයින් ඇඳ සිටි මෙම ඇඳුම අතර වෙනස කුමක්ද ? මේ අතර විශ්‍රාමික ලුතිනල් කර්නල් චන්න කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, මොවුන් කවුරුන් ද? යන්න පිළිබඳව රජය  පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇති බවයි.
''රාජ්‍ය නිවේදනයක් නිකුත් කරනන් ඕන කවුද මේ අය ඇයි මෙහෙම කරන්නේ, චීන මහජන සමූහාණ්ඩුවෙන් කියනවා නම්, චීන විප්ලවීය හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවක් මේ කැණීම් සඳහා අපි යොදවා තිබෙනවා. කියලා ගැටලුවක් නෑ. ඒක රාජ්‍ය රාජ්‍යයන් දෙක අතරෙ එකඟතාවක්. හැබැයි මැන්ඩේට් එකක් තියෙන්න ඕන. හමුදා බලයක් යොදවන්න රාජ්‍යයන් දෙක අතරේ මැන්ඩේට් එකක් හරි, ජාත්‍යන්තර සංවිධානයක මැන්ඩේට් එකක් හරි, තියෙන්න ඕන. ඒක පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි''
කෙසේ වෙතත් රටවල් දෙකක් අතර යුද සම්මුතියක් එකඟතාවක් නොමැතිව කිසිදු හේතුවක් මත හමුදාවේ අර්ථ දක්වන ලද වගකීම් ක්‍රියා පටිපාටිය තුළ වෙනත් රටක මෙහෙයුම් කිරීමේ බලයක් නොමැති බව ද විශ්‍රාමික ලුතිනල් කර්නල් චන්න කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''රටවල් දෙකක් අතර යුද සම්මුතියක් එකඟතාවක් නැතිව කිසිම හේතුවක් නිසා හමුදාවල් නම්, හමුදා රෝල් එක ඇතුළෙ හමුදාවේ අර්ථ දක්වන ලද වගකීම් ක්‍රියා පටිපාටිය තුළ වෙනත් රටක මෙහෙයුම් කිරීමේ බලයක් නැහැ. දැන් චීන විමුක්ති හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවක් වගේ එකක් ආවා ද? මෙහෙ කියන්න බැහැ නමුත් ඒගොල්ලන් නිල ඇඳුමෙන් මෙහේ නිල මෙහෙයුමක යෙදී සිටිනවා නම්, අපි මෙන්න මෙච්චර බට පිරිසක් මේ රටට ගේනවා කියන එක අපේ රටට දැනුම් දෙන්න ඕන. අපේ ආරක්ෂක අංශවලින් ඒකට අනුමැතියක් ගන්න ඕන. මේක රටවල් දෙකක් අතරේ ඒකාබද්ධ හමුදාව යොදවල කරන හමුදාමය නොවන ක්‍රියාමාර්ගයක් සඳහා වුව ද එසේ විය යුතුයි. දැන් මෙතන වැව හාරන්න හමුදාව අවශ්‍ය ද? මේ ඇවිල්ල තියෙන්නෙ හමුදාවක් ද? ඒ ප්‍රශ්නවලට රජය පැහැලිදි ප්‍රකාශයක් කරන්න ඕන. ඒ රටවල්වලට තමන්ගේ උපායමාර්ගයට යන කොට සදාචාර ප්‍රමිතීන් මං හිතන්නෙ නෑ ඒ ගොල්ලන්ගෙ ඇහැට යනවා කියලා''
මේ අතර මෙම ඇඳුම් සම්බන්ධයේන චීන තානාපති කාර්යාල නිල ට්විටර් ගිණුමෙන් දිගින් දිගටම ප්‍රතචාර දක්වමින් සිටී. ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නිව්ස් ෆස්ට් අදාළ පුද්ගලයින් චීන හමුදා සාමාජිකයින් නොවන බව හා එම ඇඳුම් ලා ගත් පිරිස කම්කරුවන් යන බව දැන දැන නොමග යවන සිරස්තලයක් වාර්තා කර ඇති බවයි . එම ට්විටර් පණිවුඩයට ප්‍රචාර දක්වමින් නිව්ස් ෆස්ට් අවධාරණය කළේ, අප එවැනි තොරතුරක් වාර්තා නොකළ අතර, චීනයේ ට්විටර් වාරණයක් ඇති බැවින් ඔවුන් එම නිදහස ශ්‍රී ලංකාවේ භුත්කි විඳිමින් ඇති බවයි. ‍

''ඔබ එම ශ්‍රී ලංකාවේ නිදහස විඳින්න..

.

නමුත් ශ්‍රී ලංකාවේ නීතියට ගරු කරන්න...''

යනුවෙන් එම ට්විටර් පණිවිඩයෙන් නිව්ස් ෆස්ට් චීන තානාපති කාර්යාලයට අවාධාරණය කර තිබිණ.