''හමුදා නිල ඇඳුමක් හමුදා සාමාජිකයෙකු නොවන අයෙකු ඇඳීම, ළඟ තබා ගැනීම වරදක්'' - පොලීසිය

by Staff writer 23-06-2021 | 9:03 PM

COLOMBO (NEWS1ST) : හම්බන්තොට, තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කරනවා යැයි, කියන ව්‍යපෘතියක් මේ වනවිට ක්‍රියාත්මකයි.

හමුදා නිළ ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටින චීන ජාතිකයින් පිරිසක් මේ ව්‍යපෘතියේ කටයුතු කරන ආකාරය අපි ඊයේ (22) අනාවරණය කළෙමු. මේ පුද්ගලයින් කවුද? තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත්කරන බව කියන මේ ව්‍යපෘතිය පිළිබඳව සොයා බැලීමට ඊයේ (22) පස්වරුවේ අප වාර්තාකරු එම ප්‍රදේශයට ගිය අතර එහිදී මේ ව්‍යාපෘතිය භාරව සිටින කළමනාකරු යැයි හඳුන්වාගත් පුද්ගලයෙක් තොරතුරු වාර්තා කිරීමට බාධා කළේ ය. ව්‍යපෘතියේ කළමනාකරු යැයි හඳුන්වාගත් පුද්ගලයා මෙලෙස බාධා කළේ, හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටි චීන ජාතිකයින්ගේ දර්ශන පටිගත කිරීමටයි. ඊයේ (22) පස්වරුවේත් මෙම චීන ජාතිකයෝ ව්‍යපෘතියේ කටයුතුවල නිරතවෙමින් සිටියහ. මොවුන් මුල්වරට අපට දැකගත හැකිවුණේ, පසුගිය ඉරිදා චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම වැවේ මෙම ව්‍යපෘතිය ආරම්භ කළ අවස්ථාවේදී ය. හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන මෙවැනි ඇඳුම් ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකිද? අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා කියා සිටියේ හමුදා නිල ඇඳුමක් හමුදා සාමාජිකයෙකු නොවන අයෙකු ඇඳීම සහ ළඟ තබා ගැනීම ද වරදක් බවයි. දණ්ඩ නීති සංග්‍රය සහ යුද හමුදා පනත යටතේත් එය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය. 2019 මැයි 08 වනදා සීදුව පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදීයි. එම ඇඳුම් කට්ටල තොගය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවූ නීතිය චීන ජාතිකයින්ට අදාළ නොවන්නේ කෙසේද?

මේ අපේ රට...!

එක එක අයට උවමනා ආකාරයට මේ අයුරින් අපේ රටේ දඟලන්න බෑ.

ඇක්සා, සෝෆා වගේම MCC හරහා ඇමරිකාවේ හමුදා අපේ රටට ගෙන්වන්න විතරක් නෙමෙයි, රටේ ඕනෑම තැනක යන් එන්නත් පුළුවන් තත්ත්වයක් ඇතිකරන්න කාලයක් හැදුවා.

යෝජනා හකුලා ගත්තේ මහාසංඝරත්නය ඇතුළු ආගමික නායකයින් හා ජනතාව නැගූ විරෝධය නිසයි.

ඊට පස්සේ රටේ වටිනාම සම්පතක් වුණ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න සූදානම් විය.

චීන පෝට් සිටිය ගැන අපි කථා නොකර ඉමු.

මොකද රටම ඒ ගැන දන්න නිසා.

දැන් විදේශීය රටක පිරිසක් හමුදා ඇඳුම් ඇදගෙන අපේ වටිනා ඉපැරණි වැවක් හාරමින් ඉන්නවා.

එක එක බලවේගවලට නැමෙන පිරිස් ඇති.

ඒත් රටේ ජනතාව නම් කිසිදු විදේශ බලපෑමකට යටත් වන්නේ නැහැ.

අපේ රටේ නීතිය අනුව, අපේ රටේ හැසිරෙන්න දන්නේ නැත්නම් ආපු දිහාටම ආපහු පළයව්....

මේක අපේ උතුම් මාතෘ භූමිය....!

නිව්ස් ෆස්ට් පෙනී සිටින්නේ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් නොවේ රටේ අභිවෘද්ධිය උදෙසායි....