මුහුදු ජීවීන්ගේ පරීක්ෂණ හෙළි නොකරන්නේ ඇයි?

කැස්බෑවන් ඇතුළු මියගිය මුහුදු ජීවීන්ගේ පරීක්ෂණ වාර්තා හෙළි නොකරන්නේ ඇයි?

by Staff writer 23-06-2021 | 10:10 PM

COLOMBO (News 1st) - රටපුරා ප්‍රදේශ ගණනාවකින් හමු වූ කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් මියයාමට හේතුව සොයා කරන විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා හෙළි නොකරන්නේ ඇයි?

එය තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් ද? අද දිනයේදීත් මිය ගිය කැස්බෑවන්ගේ සිරුරු ගණනාවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා විය. අප වාර්තාකරු පැවසුවේ, පුත්තලම මුන්දලම සිංහපාඩු වෙරළ තීරයට අද මිය ගිය කැස්බෑවකු ගොඩ ගසා තිබූ බවයි. මොරටුව, ලුනාව මුහුදු තීරයට මෙම කැස්බෑවා ගොඩ ගසා තිබුණි. කළුතර උතුර, කොස්ගහ හන්දිය වෙරළ තීරයට මිය ගිය කැස්බෑවකු ගොඩගසා තිබුණි. ගාල්ල, කොස්ගොඩ නාපේ මුහුදු තීරයට අද උදෑසන මිය ගිය කැස්බෑවේකුගේ සිරුරක් ගොඩගසා තිබූ අතර හික්කඩුව වනජීවි නිලධාරීන් එම සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇත. මීට අමතරව හික්කඩුව වෙළර තීරයට මිය ගිය මසුන් තොගයක් ද ගොඩගසා තිබුණි. නාරා අයතනයේ නිලධාරීන් අද දහවල් පැමිණ වැඩිදුර පරීක්ෂණ සඳහා එහි සාම්පල රැගෙන ගියේ ය. මේ අතර කල්මුනේ ප්‍රදේශයේ වෙරළට මිය ගිය ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණි. පරිසරවේදී නයනක රන්වැල්ල මහතා,
ඊයේ දිනයේ තල්මසකුගේ කලලයකට සමාන දෙයක් බටහිර වෙළරතීරයට ගසාගෙන ඇවිත් තිබුණා. මේක ඉතාම ශෝකජනක තත්ත්වයක්. මේ වනවිට මේ සමස්ත සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබෙනවා. මෙහිදී මේ කැස්බෑවන්ගේ සහ මේ තල්මසුන් ඒ වගේම ඩොල්ෆින් සතුන්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉතාම මුනිවත රකින ඒ වගේම නිද්‍රාශීලි ස්වරූපයක තමයි රාජ්‍ය ආයතන සේම රජය ක්‍රියා කරමින් සිටින්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී ඔවුන්ගේ යුතුකම් ඉටුකරනවා ද කියන කාරණය අප හමුවේ තියෙනවා. මරණ පරීක්ෂණ සඳහා ලබාගෙන ගිය ඇතැම් සාම්පල කල් ඉකුත්වී එහෙම නැත්නම් කුණුවී තිබෙන බව අපට දැනගන්නට ලැබි තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නාරා ආයතනය ඒ වගේම මීපා ආයතනය කළ යුතු වන්නේ මේ මළ කුණු එහෙම නැත්නම් මේ පාවෙන කැස්බෑවන්ගේ වේවා වෙනත් සතුන්ගේ සිරුරු මුහුදෙදී අලුත් මට්ටමේ දී කුණු වීමට පෙර ලබාගැනීම තමයි සිද්ද කළ යුත්තේ ඒවා ශිතකරණවල තැම්පත් කරලා රැගෙන ඒමත් සාන්ද්‍ර ඝන ඇල්කෙහොල්වල ඒවා තැම්පත් කිරීමත් නිසි ලෙස සිද්ද කළ යුතුයි. මේ කැස්බෑ මළ සිරුරු සියල්ලම අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඒවාගේ සාම්පල් ලබාගැනීම සිදු කළ යුතුයි. ඔබ මම දැක්කේ කැස්බෑ මළ සිරුරු 100 නම් තව කැස්බෑ මළ සිරුරු 1000 ක් මුහුදේ පාවෙන බව අප මතක තබාගත යුතුයි.
පසුගිය මාර්තු මාසයේදී එවර් ග්‍රීන් සමාගමට අයත් නෞකාත් සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලෝක වෙළෙඳාමට සිදුව හානි පූර්ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 550 ක් ගෙවීමට සූවස් ඇල වරාය අධිකාරිය සහ අදාළ රක්ෂණ ආයතනය ප්‍රතිපත්තිමය තීරණයක් පැමිණ තිබේ. සූවස් ඇල වරාය අධිකාරිය ඉල්ලා සිටි වන්දිමුදල අමෙරිකානු ඩොලර් මිලියන 900 කට අධික වන්දියක් ඉල්ලා සිටියේ ය. ඒ අදාළ නෞකාව බේරා ගැනීමේදී කටයුතුවලදී ජල ප්‍රවාහයට සිදු වූ හානිය හා ඒ වෙනුවෙන් දැරීමට සිදු වූ පිරිවැයද ඇතුළත්වයි.