''විශ්වාසභංගයට අනුව සුපිරි බලවතා මම වෙමි'' - ගම්මන්පිල

by Sagarika Chathumali 22-06-2021 | 1:52 PM

COLOMBO (NEWS1ST) : විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අනුව ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා තමන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ ය. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ, නම් දැනට ඉහළ නංවා ඇති ඉන්ධන මිල ගණන් ඊටත් වඩා වැඩි වන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන්නේ ජාතියේ වාසනාවකට බවයි. ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට මොක ද වුණේ? නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා යොමු කළ මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කිරීම වළක්වමින් විදුලිබල මණ්ඩලයට සහනයක් ලබා දීම සඳහා ඒ අරමුදල් පාවිච්චි කර ඇති බවයි.

''මිල ස්ථායිකරණ අරමුදල 2020 මාර්තු මාසේ 30 වෙනිදා පිහිටුවන්න අගමැතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ම සඳහන් වෙනවා. මෙයට දානවා රුපියල් බිලියන 48 ක් මේ රුපියල් බිලියන 48 පාවිච්චි කරන්නේ විදුලිබල මණ්ඩලයේ ණය පියවීමටයි කියලා. ඒ නිසා එය සැබවින්ම මිල ස්ථායිකරණ අරමුදලක් නෙවෙයි. තෙල්මිල පහළ යෑමේ වාසිය අරගෙන විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කිරීම වළක්වා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයට සහනයක් ලබා දීම සඳහායි, ඒ අරමුදල් පාවිච්චි කරලා තියෙන්නේ''

මේ අතර බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ, ඉන්ධන විකිණීම කසිප්පු විකිණීමට වඩා සංකීරණ බවයි.