කොරෝනා මර්දන එන්නත්: WHO පණිවුඩයක්

කොවැක්ස් පහසුකම යටතේ දුප්පත් රටවලට කොරෝනා මර්දන එන්නත් අඛණ්ඩව ලබා දිය නොහැකියි - WHO

by Staff writer 22-06-2021 | 2:13 PM

News 1st - කොවැක්ස් පහසුකම යටතේ ලොව දුප්පත් රටවලට කොරෝනා මර්දන එන්නත් අඛණ්ඩව ලබා දීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

එම සංවිධානයේ උපදේශක ආචාර්ය බෲස් ඒල්වර්ඩ් සඳහන් කළේ, ලොවපුරා ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් තොග මෙතෙක් කොවැක්ස් පහසුකම සතුව නොමැති බවයි. මේ වනවිට කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් බෙදා හැර තිබේ. මේ වසර අවසන් වනවිට ලොව පුරා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා බිලියන දෙකක් බෙදා හැරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය බව සඳහන් ය. උගන්ඩාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල කොරෝනා එන්නත් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර කොරෝනා මර්දන එන්නත් මිලියන 55 ලොව පුරා රටවල් වෙත බෙදා හැරීමට අමෙරිකාව සූදානම් වේ. ඒ, ලොව පුරා එන්නත් මාත්‍රා මිලියන 80ක් බෙදා හැරීමේ සිය වැඩසටහනේ පළමු පියවර ලෙසිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම එන්නත් මාත්‍රා මිලියන පනස් පහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවැක්ස් වැඩසටහනට 75% ක් සහ ඉතිරි එන්නත් අමෙරිකාව ප්‍රමුඛතා ලෙස සලකන රටවල් වෙත බෙදා හරිනු ඇති බවයි. ඒ අනුව ආසියානු රටවලට එන්නත් මිලියන 16ක්, අප්‍රිකානු රටවලට මිලියන 10ක් සහ ලතින් අමෙරිකානු රටවල් වෙත මිලියන මිලියන 14ක් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.