නැවෙන් වූ හානිය ගැන විශේෂ හෙළිදරව්වක්

ලෝකයේ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙරළට එකතුවීම සිදු වුණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් - ජාත්‍යන්තර විශේෂඥයින්

by Staff writer 21-06-2021 | 10:01 PM

COLOMBO (News 1st) - ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙරළට එක්වීමේ සිදුවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිදුවීම බව ජාත්‍යන්තර විශේෂඥයින් දැනුම්දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද ප්‍රකාශ කර තිබේ.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වරාය අධිකාරිය, නාවික හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක නියෝජිතයින් ඊට එක්විය.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයකට අයිති විශේෂඥයින් 3 දෙනෙක් මේ වනවිට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ මූලික අදහස් අපිත් සමග බෙදාගෙන තිබෙනවා. මේ නැවේ තිබුණා කන්ටේනර් 87 ක්. ප්ලාස්ටික් පබළු. මේවා විශාල ප්‍රමාණයක් ගොඩබිමට ගසාගෙන ආවා.මේක ඔවුන් කියනවා මේ වෙද්දි ලෝකයේ සිද්ධ වෙච්ච විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙරළට එකතුවීමේ අවස්ථාව කියලා. මීට පෙර මේ කන්ටේන්රස් 87න් කොටසක් ගිනි ගන්නට ඇති.කොටසක් මුහුදුබත් වන්නට ඇති. ඔවුන්ගේ මතය අනුව ඔවුන් කියනවා සාමාන්‍යයෙන් වෙරළට ගසාගෙන ආපු ප්‍රමාණය සියයට 40 ක් පමණ වන්නට ඇති කියලා. ඒ කියන්නේ සියයට 60ක පමණ ප්‍රමාණයක් එක්කෝ මුහුදු පත්ලේ තැම්පත්ව තිබෙනවා.එහෙමත් නැත්තම් ගිනිගෙන තිබෙනවා.
එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසරයට සිදුවු බලපෑම සම්බන්ධයෙන් මේ අධ්‍යනය කරන විදේශීය විශේෂඥයින් අද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හමුවිය. ඒ, නැවේ ගින්නෙන් විමෝචනය වූ අහිතකර වායු හේතුවෙන් මෙරට වායුගෝලයට සිදු වූ බලපෑම පිළිබඳව කරුණු විමසා බැලීමටයි. මේ අතර ඊයේ(20) රාත්‍රියේ වෙන්නප්පුව, මුට්ටුව වෙරළට ගොඩගසා සිටි කැස්බෑවෙකු සහ  ඩොල්ෆින් සත්ත්වයෙකු සහ වෙල්ලමන්කරය වෙරළට ගොඩ ගැසූ කැස්බෑවෙකු අද ‍මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කළේ, එම සත්ත්වයින් පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලයට යොමු කරන ලෙසය. නඩුව ලබන වසරේ ජනවාරී 03 වැනි දා යළි කැඳවීමට එහි දී තීරණය කෙරිණි. මඩලපුව පුන්නක්කුඩා, මාන්කර්නි, අම්පාර නින්දවුර් , යාපනය වේලෙනෙයි ඇතුළු වෙරළ ප්‍රදේශවලින් මිය ගිය කැස්බෑවුන් 5 දෙනෙකු හමුවිය. කෙසේවෙතත් මේ මුහුදු ජීවින්ගේ මරණවලට නිශ්චිත හේතුවක් තවමත් බලධාරීන් ප්‍රකාශ කර නැත. නෞකාවේ තිබු රසායනික ද්‍රව්‍ය බහාලුම් අතර විකිරණශීලී ද්‍රව්‍ය හෝ එහි සමස්ථානික තිබු බවට අමෙරිකාවේ ප්‍රමුඛපෙළේ පුවත්පත වන වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගිය දා වාර්තා කර තිබුණි. ඊයේ අප කළ විමසීමකදී පරමාණුක බලශක්ති නියාමන සභාව පැවසුවේ, එවැනි බහාලුමක ස්වභාවික විකිරණශෘලී ද්‍රව්‍ය තිබිය හැකි බවයි. නෞකාවක ප්‍රකාශිත භාණ්ඩ ලැයිස්තුවෙන් පිට වුවත් විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙති. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ අනුරුද්ධ ජයලත් මහතා,
ලෝකයේ තියෙනවා ටෙන්ඩ් එකක් ඊල්ලීගලි ට්‍රාන්ස්පෝර්ට් කරනවා විකිරණශීලී ද්‍රව්‍ය.කොළඹ වරායේ තියෙනවා මේ විකිරණශීලී ද්‍රව්‍ය අනාවරණය කරගන්න අනාවරක හයි කරලා. එහෙම කීපයක් හම්බෙලත් තියෙනවා. මමත් සේවය කරන කාලේ මටත් අහුවෙලා තියෙනවා ඇතැම් කන්ටේනර්ස්වල ඉල්ලීගලි ආපු විකිරණශීලී ද්‍රව්‍ය. සමහර ඒවා අති භයානකයි.මැනිපැස්ටෝ එකේ නෑ කියලා මේ නැවේ නෑ කියලා අපිට නිගමනයට එන්න බෑ. ඒ නිසා එතන ස්ථානීය පරීක්ෂණයක් කරන්න වෙනවා.

? විකිරණශීලී ද්‍රව්‍ය ඇත්දැයි සිදු කළ පරීක්ෂණ මොනවා ද?

? ඒවායේ ප්‍රතිපල ප්‍රසිද්ධ කළ හැකි ද?

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේ ය. ඒ, ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ හෙට්ටිආරච්චි මහතා අද අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඔහුට එරෙහිව විදේශ ගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරින්ට යැවීමට ද නියෝග කළේ ය.