දරුවන්ට කොවිඩ් සංකූලතාවයක්..

දරුවන්ට කොවිඩ් සංකූලතාවයක්, වෛද්‍යවරුන්ගෙන් දෙමව්පියන්ට උපදෙසක්..

by Staff writer 21-06-2021 | 10:33 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දරුවන්ට ආසාදනය වෙන රෝගයක් පිළිබඳව වාර්තා වේ.

?දරුවන්ට වැළඳෙන බව කියන රෝගය කුමක් ද?

කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමැට්රි සින්ඩ්‍රෝම් හෙවත් බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය නැමති නව රෝගී තත්ත්වයක් මෙරට දරුවන් අතර ව්‍යාප්ත වෙමින් ඇතැයි ළමා රෝග විශේෂඥයින් පවසති. මෙය මීට පෙර එංගලන්තය අතුළු රටවල් කිහිපයකින් වාර්තා විය. පසුගිය 19 වැනිදා වනවිට මෙම රෝගය වැළඳුණු දරුවන් 06 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර මේ වනවිට ඔවුන් කිහිපදෙනෙකු සුවය ලබා ඇත. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
කෝවිඩ්වල සංකූලතාවයක්. පහුගිය සති දෙක තුනේ තමයි අපි මේක දකින්න පටන් ගත්තේ. අවුරුදු පහයි පහලොවයි අතර ළමයින්ට කෝවිඩ් හැදිලා සමහරක් වෙලාවට කෝවිඩ් රෝග ලක්ෂණ නොතිබෙන්න පුලුවන්.සමහර අයට කෝවිඩ් රෝග ලක්ෂණ තිබිලා වෙන්න පුළුවන්. සති දෙකකට විතර පස්සේ ඒ දරුවන්ට කොවිඩ්වලට ප්‍රතිදේහ හැදෙනවනේ ඇඟේ. ප්‍රතිදේහ ජනකය අපි කෝවිඩ් ඇන්ටිජන් කියලා ගත්තොත් සාමාන්‍යයෙන් සති දෙකක් විතර යද්දි ඒ අතරේ යම් කිසි ප්‍රතික්‍රියාවල් ඇති වෙලා බහුවිධ ඉන්ද්‍රියයන්, ඉන්ද්‍රියයවල් කීපයකට බලපෑමක් ඇති වීම තමයි ඔතනෙදි වෙන්නේ. විශේෂයෙන්ම වැඩිපුර අපි දකින්නේ අක්මාවට, වකුගඩුවලට, පෙනහළුවලට, මොළයට අර ඒ වගේ ඊට අමතරව හමට ඒ වගේ රෝගය ඉන්ද්‍රියයන් කීපයකට ඇති වෙනවා.

?රෝග ලක්ෂණ මොනවාද ?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
දැන් උණ සාමාන්‍යයෙන් දවස් 04ක් විතර පවතිනවා. ඇස් රතු වෙන්න පුළුවන්. බෙල්ලේ වසා ගැටිති ඉදිමෙන්න පුළුවන්. තොල, දිව රතු වෙන්න පුළුවන්, හමේ රතු ලප ඇති වෙන්න පුළුවන් පෙනහළුවලට බලපෑමක් ඇති වුණොත් හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අක්මාවට බලපෑම ඇති වුණොත් බඩ ඉදිමිලා එන්න පුළුවන්. ආහාර අරුචිය ඇති වෙන්න පුළුවන්. ඇස් කහ පාට වෙන්න පුළුවන්. වකුගඩුවලට බලපෑම ඇති වුනොත් මුත්‍රා තද පාටට යන්න පුළුවන්. මුත්‍රා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේකත් එක්කම හෘදය වස්තුවට බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. එතෙනදි අපේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. අර ඔය වගේ දේවල් නිසා හිසරදය , ලෙඩ පාටට ඉන්නවා දරුවෝ. වැඩ කරන්නේ නැතුව පණ නැතුව වගේ උනත් එක්ක. එහෙම තත්ත්වයක් දැක්කොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හරි, රෝහලක් වෙත හරි දරුවව ගෙනියනවා නම් හොඳයි. ඉක්මනට පැමිණෙන්න. ගොඩක් පහු වෙලා ආවොත් තමයි සමහරක් වෙලාවට අපිට බේරා ගන්න අමාරු වෙන්නේ.