චීන මැදිහත්වීම ගැන ඉන්දියාවේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල චීන මැදිහත්වීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් - ඉන්දීය නාවික හමුදාව

by Staff writer 20-06-2021 | 10:41 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල චීනයේ මැදිහත් වීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී වයිස් අද්මිරාල් අශොක් කුමාර් මහතා පවසයි.

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානීයා මේ අදහස් පළ කළේ එරට මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව , ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය. ඉන්දීය මුහුදු සීමා පිළීබඳව ගැඹුරින් නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කරන ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා මේ සාකච්ඡාවේදී පවසා ඇත්තේ චීනය සමඟ ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ නිශ්පාදිත ප්‍රිඩේටර් වර්ගයේ නියමුවන් නොමැති ඩ්‍රෝන යානා මෙම කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බවයි. මේ හේතුවෙන් ඉන්දියාවේ නිරීක්ෂණයෙන් පළා යාමට කිසිවෙකුට අවකාශ හිමි නොවන බව ඔහු අවධාරණය කර තිබිණ. ප්‍රිඩේටර් වර්ගයේ ඩ්‍රෝන යානා අඩි 50000 ක් ඉහළින් කිලෝ මීටර් 2900 ක් දක්වා පියාසර කිරීමේ හැකියාව සහිත බවත් වයිස් අද්මිරාල් අශොක් කුමාර් පැවසූ බව ද හින්දු පුවත්පත අනාවරණ කළේ ය. එම ඩ්‍රෝන යානාවල මිසයිල සවිකර ඇති නිසා සතුරන්ගේ යුධ නෞකා විනාශ කළ හැකි බවත් ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී පවසා තිබේ. මේ අතර පසුගියදා වාද්දුවට ඉහළ අහසේ හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් ගත් ආකාරය සමාජ මාධ්‍යවල හුවමාරු විය.