හෙරොයින් ජාවාරම: සැකකරුවන්ගේ දුරකථන අංක විශ්ලේෂණයට

රු. කෝටි 53 හෙරොයින් ජාවාරම: සැකකරුවන්ගේ දුරකථන අංක විශ්ලේෂණයට පියවර

by Staff writer 20-06-2021 | 1:00 PM

COLOMBO (NEWS1ST) : රුපියල් කෝටි 53 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමග පෙරේදා (18) රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා භාවිත කළ දුරකථන අංක 5 ක් විශ්ලේෂණය කිරීමට අධිකරණය අවසර දී තිබේ.

ඒ සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. ලබන 24 වැනිදා දක්වා ඔවුන් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ ය. එලෙස රැඳවුම් භාරයට ගනු ලැබුවේ දකුණු කළුතර පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනෙකි. සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නිල ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී බද්දේගම ගෝනාපිනුවල ප්‍රදේශයේදී ය. එම හෙරොයින් තොගය සලිඳු මල්ෂිත නමැති ජාවාරම්කරුවෙකුගේ බවට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂකවරයාගේ සේවය අත්හිටුවා ඇති බවයි.