කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රු. මිලියන 38ක් අපතේ යයි

ප්‍රමිතියෙන් තොර බීජ හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 38ක් අපතේ යයි - විගණන වාර්තාවක් හෙළි කරයි

by Staff writer 20-06-2021 | 10:53 AM

COLOMBO (News 1st) - 2014 වසරේ සිට 2019 දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ රුපියල් මිලියන 38ක් පමණ වටිනා එළවළු බීජ, පැළවීම දුර්වල වීම හේතුවෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

එම කාර්යාලයට අනුව අදාළ කාලසීමාව තුළ එළවළු බීජ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පර්යේෂණ සිදුව නොමැත. එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ කාර්ය සාධනයට අදාළ විගණනයකදී තහවුරු වී ඇත්තේ රටට වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදු කර නොමැති බවය. අවශ්‍යතාවට ගැළපෙන පරිදි බීජ නිෂ්පාදනය සිදුවී නොමැති බවත්, බීජ තොග ගබඩා කිරීමේ පටිපාටියේ ගැටලු රැසක් දක්නට ලැබෙන බවත් එම විගණනයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. 1997 වසරේදී සම්මත වූ බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය බීජ පිළිබඳ ප්‍රතිපත්තිය ලෙස සැලකෙන අතර මෙතෙක් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් වී නොමැත. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු ආයතනයට අනුව එළවළු වගාවේදී 70% ක් පමණ යොදා ගන්නේ ආනයනික දෙමුහුන් බීජයි. 2003 අංක 22 දරණ බීජ පනත අනුව ආනයනික බීජවල ගුණාත්මකභාවය සහ ඒවා භාවිතයේදී ගොවීන් මුහුණදෙන ගැටලු පිළිබඳව ජාතික බීජ සභාවේ අවධානය යොමුවිය යුතු වේ. එහෙත්, 2003 වසරේදී බීජ පනත සම්මත කිරීමෙන් පසුව බීජ සභාව පළමු වරට රැස්වී ඇත්තේ 2017 වසරේදී බව අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ දක්වා එම සභාව රැස්වී ඇත්තේ අවස්ථා තුනකදී පමණක් බවයි. එම කාර්යාලයට අනුව දේශීය බීජ නිෂ්පාදනයේ ප්‍රගතිය ඇගයීම ඇතුළු අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදනය හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ක්‍රියාකාරීව සිදු වී නැත.