.webp)
මේ වනවිට මෙරට මුහුදු ජීවීන්ට සිදුව ඇති බලපෑම
අද දිනය තුළ ගාල්ල , පුත්තලම , මඩකලපුව , අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළ තීරයන් කිහිපයකටම කැස්බෑවන් ගොඩ ගසා තිබුණි. කොස්ගොඩ, ගල්බොක්ක වෙරළ තීරයට අද ගොඩගැසුවේ එම වෙරළ තීරයෙන් හමුවු 7 වැනි කැස්බෑවයි. තොඩුවාව වෙරළ තීරයට අද අලුයම 5 ට පමණ තවත් කැස්බෑවෙකු ගොඩ ගසා තිබුණි. හලාවතට වෙරළ තීරයට ගොඩ ගසා තිබු මේ කැස්බෑවා හමුව තිබුණේ, වෙරළාරක්ෂක නිලධාරීන්ටයි. පුත්තලම උඩප්පුව වෙරළ, මුන්දලම සින්නපාඩු වෙරළ, මඩකලපුව නාවලඩි වෙරළ ප්‍රදේශවලින් එක් කැස්බෑවෙකු බැගින් ද කල්මුණේ වෙරළෙන් කැස්බෑවුන් දෙදෙනෙක් ද අද සොයා ගැනිණි. මේ අතර අම්පාර, තිරුක්කෝවිල් විනායගපුරම් ප්‍රදේශයෙන් ද මියගිය කැස්බෑවුන් දෙදෙනෙක් සොයාගත් අතර තුවාල ලැබු තවත් කැස්බෑවෙකු ද අද විනායගපුරම් වෙරළට ගොඩ ගසා සිටියේ ය. තිරුක්කෝවිල් තම්බට්ටෙයි වෙරළට කැස්බෑවෙකු ගොඩ ගසා තිබු අතර තිරුක්කෝවිල් වෙරළ තීරයෙන් ඊයේ පස්වරුවේ මියගිය කැස්බෑවන් 2 නෙකු සහ මියගිය ඩොල්ෆින් සත්ත්වයෙකු හමුවිය. යාපනය, වේලනෛයි වෙරළට අද ඩොල්ෆින් සත්ත්වයෙකුගේ කොටසක් ගොඩ ගසා තිබුණි. පරිසරවේදී නයනක රන්වැල්ල මහතා,තේරුම් ගන්න ඕනේ ගොඩබිමට එන්නේ ඉතාමත්ම සුළු පිරිසක් තමයි මිය ගිහිල්ලා තියෙන. 10 න් 1 ක් තමයි එන්නේ ගොඩබිමට. ඒ කියන්නේ 60 ක් එනවා නම් 600 ක් වත් මුහුදේ මිය ගිහිල්ලා තියෙන්නේ. ස්ක්‍රයිප් ඩොල්ෆින් කියලා සතෙක් මේ කල්පිටිය ප්‍රදේශයට ආවා. ඒගොල්ලෝ ජීවත්වෙන්නේ ගැඹුරු මුහුදේ. ඒකෙන් ගම්‍ය වන්නේ ගැඹුරු මුහුදටත් මේකේ බලපෑම ඇතිවෙලා තියෙනවා කියන කාරණය. අදටත් රසායනික මරණ පරික්ෂණ වාර්තාවක් නොමැතිවීම කණගාටුවට කරුණක්.මේ අතරතුර අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත වන වොෂින්ටන් පෝස්ට් මෙම නෞකාවේ තිබු බහාලුම් සම්බන්ධයෙන් තවත් අනාවරණයක් කළේ ය. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ, නෞකාවේ තිබු රසායනික ද්‍රව්‍ය බහාලුම් අතර විකිරණශීලි ද්‍රව්‍ය හෝ එහි සමස්ථානික තිබූ බවයි. එහි සත්‍යතාව පිළිබඳව අප ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාප් අනිල් රංජිත් මහතාගෙන් අප විමසීමක් කළේය. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා,
විකිරණශීලී ද්‍රව්‍ය සහිත ඕගනික් , ඉන්ඕගනික් ද්‍රව්‍ය ට්‍රාන්ස්පෝර්ට් කළ ඒවා තිබුණා කියලානේ කියන්නේ. එතකොට ඇත්තටම ඒවාගේ එකක විකිරණශීලී ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ විකිරණශීලී ද්‍රව්‍ය සාමාන්‍යයෙන් තියෙන්නේ යුරේනියම් නැත්තම් තෝරියම්. නැත්තම් පොටෑසියම්. ඒවා තමයි ස්වාභාවයෙන් තියෙන්නේ. ඒවාගේ විකිරණශීලී ද්‍රව්‍ය ඕනෑම එකක තියෙනවා. ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඒකේ කෘතිම විකිරණශීලී ද්‍රව්‍ය තියෙනවා කියලා. කෘතිම විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න නම් අනිවාර්යෙන්ම පොඩි ප්‍රමාණයක් තිබ්බත් ගන්න ඕනේ අනුමැතිය. නමුත් ස්වභායෙන්ම තියෙන යුරේනියම්, තෝරියම් වාගේ තියෙන පස් වර්ග ට්‍රාන්ස්පොර්ට් කරන්න එහෙම අවසරයක් ගන්න ඕනේ නෑ.ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව එසේ පැවසුවත් මීට ටික දිනකට පෙර හම්බන්තොට වරායට විකිරණශීලී ද්‍රව්‍ය රැගතක් නෞකාවක් පැමිණියේ එවැනි කිසිදු අවසරයක් නොමැතිවයි. එහිදී වාර්තා වුණේ, නැව වරාය තුළට පැමිණෙන තෙක්ම නැවේ විකිරණශීලි ද්‍රව්‍ය තිබූ බව බලධාරීන් දැන සිටියේ නැති බවයි.
නෞකාවේ අද තත්ත්වය...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍ර පරිසරයට සිදු වූ හානි විශ්ලේෂණය සඳහා මෙරටට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම අද එම නෞකාව ගිලෙන ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔවුන් නැව ගිනි ගැනීම හේතුවෙන් ඒ ආශ්‍රිත සාගර පරිසර පද්ධතියට මෙන්ම සාගර ජීවීන්ට සිදුවු බලපෑම පිළිබද පුළුල් ලෙස පරීක්ෂා කරයි. ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු හා ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත් ය.නෞකා අනතුරින් සිදු වූ හානිය ගැන බලධාරීන් කියන්නේ මොනවා ද?
නෞකාව තුළ වූ ද්‍රව්‍ය හේතුවෙන් මෙරට පරිසරයට සිදුව ඇති බලපෑම මේ වනවිට කිසිදු බලධාරියෙකු නිශ්චිතව හෙළි කර නැත. නෞකාවේ බහාලුම් තුළ වු ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය, මුහුදුබත්ව ඇති ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් නැත. නෞකාවෙන් සාගරයට එක් වූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව අදටත් කිසිදු වාර්තා එළි දක්වා නැත. දිනෙන් දින මියයන කැස්බෑවන් , ඩොල්ෆින් සත්ත්වයින් , තල්මසුන් වැනි මුහුදු ජීවීන් පිළිබඳව නිවැරදි අනාවරණයක් බලධාරීන් මේ දක්වා සිදු කර නැත. අවස්ථා ගණනාවකදී අප ඒ පිළිබඳව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙන් විමසා සිටියත් ඔවුන් ඒ සම්බන්ධයෙන් හෙළි නොකළේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැක්කේ අධිකරණ කටයුතුවලින් පසුව බව සඳහන් කරමිනි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වී අදට මාසයක් සපිරේ. නෞකාවෙන් සිදු වූ හානිය ගැන නිවැරදි තක්සේරුවක් කර ඒ ගැන හෙළි කරන්නේ කවදා ද?