මියගිය කැස්බෑවන් 8ක් හා ඩොල්ෆින් සතුන් දෙදෙනෙකුගේ සිරුරු අදත් වෙරළට ගොඩ ගසයි

by Staff writer 19-06-2021 | 9:42 PM

COLOMBO (NEWS1ST) : අදත් දිවයිනේ වෙරළ තීරයන් කිහිපයකට මියගිය කැස්බෑවන් 11 දෙනෙක් සහ ඩොල්ෆින් සත්ත්වයින් තිදෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබිණ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) අවධාරණය කළේ, විශාල ප්‍රමාණයක් මෙලෙස සතුන් මියයාම සම්බන්ධයෙන් නිවැරදි පරික්ෂාවක් කළ යුතු බවයි.

අද (19) මියගිය මුහුදු ජීවීන් ගොඩ ගැසු ප්‍රදේශ මොනවාද?

මඩකලපුව කිරාන්කුලම් මුහුදු තීරයට කැස්බෑවන් තිදෙනෙකු සහ ඩොල්ෆින් සත්ත්වයෙකු ගොඩ ගසා තිබිණ. මියගිය කැස්බෑවුන්ගේ මුඛ ප්‍රදේශය ආශ්‍රිතව තුවාල දක්නට ලැබී ඇත. කල්මුණේ පෙරිය නිලාවනෙයි වෙරළට ගොඩ ගසා සිටියදී තවත් කැස්බෑවන් තිදෙනෙක් හමුවු අතර තවත් කැස්බෑවෙක් කල්මුණේ පාන්ඩිරිප්පු වෙරළට ගොඩ ගසා සිටියේ ය. මඩකලපුව තාලංකුඩා වෙරළ තීරයට ද අඩි 5 හමාරක පමණ ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබිණ. හලාවත වෙරළ මාර්ගයේදී අද දහවල් මියගිය කැස්බෑවුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනිණ. හලාවත කරුකපනේ වෙරළට ද කිලෝ ග්‍රෑම් 15 ක් පමණ බැරැති මියගිය කැස්බෑවෙකු ගොඩගසා තිබිණ. මාරවිල ලංසිගම වෙරළට ගොඩ ගසා සිටියේ, ඩොල්ෆින් සත්ත්වයෙකි. මීට අමතරව මුන්දලම පාරිපාඩුව වෙරළ තීරයට ද අද පෙරවරුවේ මියගිය කැස්බෑවෙකු ගොඩ ගසා තිබිණ. මුන්දලම හා ඒ අවට වෙරළ තීරයෙන් මේ වනවිට හමුව ඇති කැස්බෑවන් සංඛයාව 7 කි. මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඩික්කුලි වෙරළ තීරයටද ඊයේ මිය ගිය විශාල මත්සයෙක් ගොඩ ගසා තිබු අතර සිරුර පුරා තුවාල දක්නට ලැබිණ.

මේ දක්වා මියගිය මුහුදුජීවීන් ගොඩ ගැසූ ප්‍රදේශ....

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වු එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ආරම්භ වී සතියක් ගතවද්දි මියගිය කැස්බෑවෙකු පානදුර වෙරළ තීරයට ගොඩ ගැසුවේ ය. ඉන් පසු ක්‍රමයෙන් හික්කඩුව, කොස්ගොඩ, අම්බලන්ගොඩ , ඉදුරුව, රැකව ඇතුළු දකුණූ වෙරළටත් පසුව මීගමුව, මාරවිල , කල්පිටිය , මන්නාරම ඇතුළු වෙරළතීරයන්ටත් වරින් වර කැස්බෑවුන් , මියගිය තල්මසුන් , ඩොල්ෆින් ඇතුළු මුහුදු ජීවීන් ගොඩ ගසන්නට විය. අපගේ වාර්තාවන්ට අනුව වෙරළ තීරයන්ට ගොඩ ගැසු මුහුදු ජීවීන් සංඛයාව මේ වනවිට70 කට අධිකයි. ඔවුන්ගෙන් බහුතරය බටු කැස්බෑවන් ය. මෙරට මුහුදෙන් වාර්තා වන කුඩාම කැස්බෑ විශේෂය වන එම කැස්බෑ විශේෂය මෙරටදී බහුලව දක්නට ලැබේ. ඇත්තටම මේ මුහුදු ජීවීන් මිය යන්නේ නෞකාවේ ගින්නේ බලපෑමෙන්ද? ප්‍රශ්නය: - සාක්ෂි සාධක තියෙනවා ද මේ ගිනිබත් වු නැවෙන් පිටවෙච්ච රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මේ සතුන් මිය ගියයි කියලා. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක : - තාම ඒක නෑ. නමුත් ඒහා සමානව ගිනිබත් වු මුහුදත් එක්ක තමයි මේ කැස්බෑවන් ආවේ. සුපුරුදු ආකාරයෙන් කැස්බෑවන් බිත්තර දාන්න එනවා. ඒ බිත්තර දාන්න ආපුවම ඒ අය පුරුදු තැනට තමයි එන්නේ. අර අලිමංකඩින් අලියා යනවා වාගේ කැස්බෑවන් එන්නේ එතෙන්ට. ඒ ප්‍රදේශය පිළිබඳව සුවිශේෂිත්වයක් තියෙනවා. ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ. ඒ පිළිබඳව කටයුතු කරන්න සුදානම්   මීගමුවේ සිට අම්බන්ගොඩ දක්වා මුහුදු තීරයට ගොඩ ගැසූ කැස්බෑවන් සහ ඩොල්ෆින් සත්ත්වයින් 35 කට අධික ප්‍රමාණයකගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකරන්නේ අත්තිඩිය වනජීවී කාර්යාලය මගිනි. ඔවුන්ගෙන් කැස්බෑවන් 15 දෙනෙකු වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කර තිබේ.