රු. කෝටි 53 හෙරොයින් ජාවාරමේ තවත් තතු හෙළිවෙයි

පොලිස් SI කොටු වූ රු. කෝටි 53 හෙරොයින් ජාවාරමේ තවත් තතු හෙළිවෙයි

by Sagarika Chathumali 19-06-2021 | 8:49 PM

COLOMBO (NEWS1ST) : හෙරොයින් කිලෝ 52 ක් සමග අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 24 වැනිදා දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර දී තිබේ.

අද (19) අලුයම රුපියල් කෝටි 53 කට අධික වටිනාකමින් යුත් එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමත් සමග ඊට අදාළ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී ඇත. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය දැනට විදේශගතව හෝ යම් ස්ථානයක සිටින බවට සැක කෙරෙන සලිඳු මල්ෂිත නමැති ජාවාරම්කරුවෙකුගේ බවට අනාවරණය වී ඇති අතර ඔහු ප්‍රථම වරට හෙරොයින් ග්රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2015 වසරේදී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 19ක් වූ බවට ද හෙළිවී ඇත. මේ අතර මෙම ප්‍රධන ජාවාරම්කරු මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමත් සමග නවීණ තාක‍්ෂණය ඔස්සේ සැකකරුවන්ට එක් අවස්ථාවකදී කතා කර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික තොරතුරු ලබාගන ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. අදාළ පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් කරන අවස්ථාවේදී හික්කඩුව ගෝනාපීනුවල ප්‍රදේශයේදී හඹා ගෙනවිත් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණ. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු කළුතර පොලිසියට අනුයුක්තව සේවය කළ එම උප පොලිස් පරික්ෂකවරයාගේ සේවය අත්හිටවූ බව ද අද දහවල් පොලීසිය නිවේදනය කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා මට්ටක්කුලිය හා ජා- ඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.