අවධානයෙන්: දරුවන් අතර ව්‍යාප්ත වන නව රෝගයක් ගැන අනාවරණයක්..

by Staff writer 19-06-2021 | 9:49 PM

COLOMBO (News 1st) - කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ නව රෝගී තත්ත්වයක් දරුවන් අතර ව්‍යාප්තවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වෙල මහතා පවසයි.

ඔහු පැවසුවේ, මෙම නව රෝගය වැළඳුණු දරුවන් 06 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. වෛද්‍යවරයා අවධාරණය කළේ දරුවන්ට, උණ ඇඟේ වේදනාව වමනය උදරාබාධ පාචනය ඇස් රතුවීම සම මතුපිට රතු ලප හෝ දද වැනි තත්ත්වයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය. රිජ්වේ ආර්යයා ළමා රෝහල දැඩිසත්කාර ඒකකය භාර වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා,
මේකේ භයානක තත්ත්වය තමයි මේක හෘද වස්තුවට බලපාලා සමහර වෙලාවට මිය යාමට පවා ඉඩ තිබෙනවා. මේ රෝගය අලුත් රෝගයක් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ එංගලන්තේ තමයි මුලින්ම මතුවුණේ. දැන් අපිට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ලා කියලා. මේක ලංකාව පුරාම පැතිරෙන්න ඉඩ තියෙනයවා. කියන්න තියන පණිවිඩේ තමයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න මොකද පරක්කු කරනවා කියන්නේ අපි ළමයාගේ ජීවිතය අනතුරේ හෙලනවා කියන එක. මේ රෝගී තත්ත්වය නමින්ම කියනවා අපි මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමැට්රි සින්ඩ්‍රෝම් ඉන් චිල්ඩ්‍රන් කියලා ඒ කියන්නේ මේක ළමයින්ට විතරක් වැළඳෙන රෝගී තත්ත්වයක් විදියට තමයි දැනට වාර්තා වෙන්නේ. දරුවන්ට මේ කොවිඩ් බලපාලා තියෙන්නේ මේ විදියටයි. දරුවන්ට දැඩි සත්කාර ඒකක අවශ්‍ය වෙන තරමට අමාරු වෙලා තියෙන්නේ මෙන්න මේ නව රෝගී තත්ත්වය නිසා මේක ඇත්තටම ප්‍රතිශක්තියත් එක්ක බැඳුණු රෝගී තත්ත්වයක්. කොරෝනා රෝගයට විරුද්ධව අපේ ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය නිසා අපිටම රෝගයක් බවට පත්වෙලා තියන ගතියක් තමයි පෙන්නේ.