''සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදු වූයේ වැරදි දත්ත නිසයි..'' ජනපති හෙළිකරයි

by Staff writer 18-06-2021 | 9:26 PM

COLOMBO (NEWS1ST) : ජුනි 14 ලිහිල් කිරීමට තිබූ සංචරණ සීමා දිගු කිරීමට සිදු වූයේ වූයේ වැරදි දත්ත හේතුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, පසුගිය 11 වැනිදා තහවුරු කර තිබූ කොවිඩ් 101 අතරින් පළමු මරණය සිදුව ඇත්තේ, පෙබරවාරි 6 වැනිදා බවයි. තවද  නිවැරදිව දත්ත විශ්ලේෂණය කරන්නේ නම්, ජූනි 11 වනදා සිදුව ඇත්තේ, කොරෝනා මරණ 15 ක් පමණක්  බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
''14 වැනිදා අරින්න හිටියා.එතකොට එකපාරම 11 වැනිදා මේ 101 ක් මැරුණා කියලා ආවා. මේක ඇහුවාම හැමෝම බය වෙනවා නේ. මම බුද්ධි අංශෙට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. ජූනි 11 මැරුණා කිව්වා නම් 10 වැනිදා රෑ 12 ඉඳලා 11 වැනිදා රූ 12 වෙනකන් නේ ජූනි 11 වාර්තා කරන්න ඕනේ. ඒ වුණාට වාර්තා කරන පළවෙනි එක්කෙනා වාර්තා කරලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වැනිදා. ආදාහනය කරලා තියෙනවා පෙබරවාරී 6 වැනිදාම. එයාට මරණ සහතිකේකුත් දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා අවුරුදු 67 යි. මෙයා හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළමු වැනිදා, වාර්තා කරලා තියෙන්නේ ජූනි 11 වැනිදා. මේ 101 ඇතුළේ ඉන්න එක්කෙනෙක්. 9 වැනි පුද්ගලයත් 10 වැනි පුද්ගලයත් එක්කෙනා. ඒකත් මේ 101 ට අයිතී. මම මේක බැලුවාට දැන් එක්ස්පර්ට්ලා මේක දන්නේ නෑ නේ. ටී.වී. එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නෑ .දැන් මම මේක කිව්වා පහුගිය හරි තැන්වලට මේක දාන්න. අඩු කරන්න නෙමෙයි. එතකොට හරි විදියකට අපිට දත්ත එනවා. දැන් එහෙම කළාම ඒ චාර්ට්ස් දෙකේ වෙනසක් තියෙනවා ඔය වාර්තා කරන විදිය. මේක හරි විදියට බැලුවොත් මේ තාක් දාපු ඒවයින් ජූනි 11 ඉන්නේ 15 දෙනයි මැරිලා. 101 කියපු දිනයේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි''
මේ අතර ජුනි මස 21 වැනිදා අලුයම 4.00 ට සංචරණ සීමා ලිහිල් කිරීමට ද අද (18) පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය විය. ජනාධිපති මාධ්‍ය අංශය අද (18) පස්වරුවේ නිවේදනය කළේ, 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා නැවත ක්‍රියාත්මක වන බවයි. කෙසේවෙතත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක නොවන කාලසීමාවේ පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සංචරණ සීමා ලිහිල් කළ ද ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති. තව ද රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු වේ. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් ද සිදු කළ හැක්කේ, අවම පිරිසකගේ සහභාගීත්වයෙනි.