මාරවිලට ගොඩ ගැසූ කැස්බෑ සිරුරක් අධිකරණයට: නඩුව ලබන වසරට කල් යයි..

by Staff writer 18-06-2021 | 9:33 PM

COLOMBO (News 1st) - මාරවිල, ලංසිගම වෙරළ තීරයට ගොඩ ගසා තිබූ කැස්බෑවෙකුගේ සිරුරක් අද(18) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී අධිකරණය තීරණය කළේ, එම නඩුව ලබන වසරේ ජනවාරි මස 03 වැනි දා යළි කැඳවීමටයි. මෙම කැස්බෑවා මාරවිල, ලංසිගම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණේ ඊයේ රාත්‍රියේ ය. පසුව කැස්බෑවා ආනවිලුන්දාව වනජීවි කාර්යාලයට ගෙන ගියේ ය. අද දහවල් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සත්ත්වයා වැඩිදුර පරීක්ෂණ සඳහා නිකවැරටියේ වනජීවි කාර්යාලයට යොමු කළේ ය. මේ අතර වාද්දුව, තල්පිටිය වෙරළ තීරයට අද පෙරවරුවේ මියගිය කැස්බෑවෙකු ගොඩ ගසා තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, එම කැස්බෑවා කිලෝ ග්‍රෑම් 40 ක පමණ බරකින් යුක්ත බවයි. ඉකුත් දින කිහිපයේ මෙරට වෙරළ තීරයන්ට ගොඩ ගැසූ කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවීන්ගේ මළ සිරුරු සම්බන්ධ පරීක්ෂණ මේ දිනවල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරේ. රජයේ රස පරීක්ෂක ගෞරි රාමනා මහත්මිය සඳහන් කළේ, එම පරීක්ෂණවලදී අදාළ සමුද්‍ර ජීවීන් මියයාමට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. ? කැස්බෑ මරණවලට හේතුව තවමත් තහවුරු නොකරන්නේ ඇයි? ? විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමට මෙතරම් කල් අවශ්‍ය ද?