''දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න'' - අගමැති

''දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න'' - අගමැති

by Sagarika Chathumali 18-06-2021 | 12:10 PM

COLOMBO (NEWS1ST) :  පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳිමට ඉඩ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

''පෙර පාසල කියන්නේ තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න''
පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ 'ගුරු අභිමානී' ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 'ගුරු අභිමානී' ජාතික උත්සවය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ. මේ අතර 'ගුරු අභිමානී' ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් අදාළ දීමනා ප්‍රදානය කෙරිණ. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ස්ථාපනය කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද මෙම උත්සවයෙදී සංකේතාත්මකව සිදු කෙරී ඇත. අග්‍රාමාත්‍යවරයා උත්සවය අමතමින් පවසා ඇත්තේ, පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන මෙම දීමනාව විධිමත් පුහුණුවකින් පසු ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සඳහා ගත් ආරම්භයක් පමණක් බවත් ය. පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම අතිශය වැදගත් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,  විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ. මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කර  ඇත. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන්  වන මහාචාර්ය ජී.එල් පීරිස්, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.