ජූලි මාසයේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු

ජූලි මාසයේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු.. ඇමති වීරසේකර කියයි

by Staff writer 18-06-2021 | 8:59 PM

COLOMBO (NEWS1ST) : ජුලි මාසය වනවිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීමට හැකිවනු ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ් අනුව 42 දෙදෙනෙක්ට හෝ ඊට අඩු සංඛ්‍යාවකට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ලැබෙන බවත් මේ වන විටත් ඒම නඩු පැවරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ත් ය. තව ද සිදුවීම් 8 සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනය සිදු කළ ලිපිගොනු 8 පසුගිය වසරේ නොවැම්බර් මාසේ නීතිපතිවරයා වෙත නිකුත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සාරා ඉන්දියාවට පළා ගියා ද? තව ද සාරා නමැති කාන්තාව ජීවත්ව සිටී ද නැද්ද යන කරුණ තවමත් ස්ථීර නොමැති බව ත් ඇය ජීවත්ව සිටින බවට පළ වූ සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධි මෙන්ම සාවද්‍ය බවට ඔප්පු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''සාරා කියන කාන්තාව ජීවත් වෙලා ඉන්නවාද නැද්ද කියන එක තාම ස්ථීර නැහැ. මොකද ඇය ජීවත් වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධියි. සියල්ලක්ම සාවද්‍යයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒක හින්දා දැනට මේ DNA අපි පරික්ෂා කළා දෙපාරක්. දැන් තවපාරක් නැවත වතාවක් ගොඩ අරගෙන ඒ පරික්ෂා කරන්න නීතිමය සහය ඉල්ලා තියෙනවා. මේ සාරා ජීවත් වෙනවා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම ඉතාම පැහැදිලිව සනාථ වෙලා නෑ''
මීට අමතරව දෙහිවල බෝම්බයේ සැකකාර ත්‍රස්තවාදියා සමග බුද්ධි නිලධාරියෙකු සිටි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ත් එයත් එක්තරා ආකාරයේ ඕපාදූපයක් විය හැකි බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයේ කිසිදු සැකකරුවෙකු සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.