එළවළු සහ පලතුරු මිල පාලනයට ක්‍රමවේදයක් සකසන්න

එළවළු, පලතුරු මිල පාලනයට ක්‍රමවේදයක් සකසන්නැයි, ඇමති නාමල්ගෙන් උපදෙස්

by Sagarika Chathumali 18-06-2021 | 7:18 PM

COLOMBO (NEWS1ST) : අධික මිල ගණන් යටතේ අලෙවි වන එළවළු සහ පලතුරුවල මිල පාලනය සඳහා ඉදිරි සති දෙකක ඇතුළත ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ, කොවිඩ් වසංගතය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේදී ය. ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම මත පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. තව ද ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපිරිසටම සහන සැලසෙන පරිදි මිල ගණන් ඉහළ යාම පාලනය කිරීමට විකල්ප සෙවිය යුතු බවට ද එහිදී අදහස් පළ වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. සියලුම ජංගම අලෙවි රථවල සහ ජංගම අලෙවිසැල්වල එළවළු හා පලතුරු වර්ග මිල ප්‍රදර්ශනය කිරීම සඳහා උපදෙස් දීමටත් සමූපකාර හා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන පරිදි එළවළු මලු සකස්කර බෙදා හැරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. ඊට අමතරව ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන දිනවලදී බිත්තර හා කුකුළු මස් තොග වෙළඳසැල් විවෘතකර තැබීමට අවසර දීමේ එකඟතාවයකට පැමිණ ඇත. මේ අතර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ,  දෛනිකව සඳහන් කරන මිල ගණන් ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් පියවර ගැනීම පාරිභෝගික අධිකාරියට පවරන ලෙසයි. මෙම අවස්ථාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ වෙළඳ, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය සමග කටයුතු කරන අමාත්‍යංශවල ලේකම්වරු ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිට ඇත.