සමුද්‍ර ජීවින්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින්

වෙරළට ගොඩ ගැසූ සමුද්‍ර ජීවින්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින්

by Staff writer 18-06-2021 | 11:01 AM

COLOMBO (News 1st) - පසුගිය දිනවල මෙරට වෙරළ තීරයට ගොඩ ගැසූ කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවින්ගේ මළ සිරුරු සම්බන්ධ පරීක්ෂණ මේ දිනවල සිදු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ රස පරීක්ෂක ගෞරි රාමනා මහත්මිය සඳහන් කළේ, එම පරීක්ෂණවලදී අදාළ සමුද්‍ර ජීවින් මියයාමට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. මීට අමතරව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමග කාන්දු වූ රසායන ද්‍රව්‍ය ඇතුළු දෑ හේතුවෙන් සාගර ජලයට සිදු වූ බලපෑම මෙන්ම එහි රාසායනික සංයුතිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළා ය. රජයේ රස පරීක්ෂකවරිය සඳහන් කළේ, ඒ සම්බන්ධ වාර්තා කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.