ආක්‍රමණශීලි ශාඛවලින් වල් නාශක නිෂ්පාදනයට තීරණයක්

ආක්‍රමණශීලී ශාඛ යොදා ගනිමින් ස්වාභාවික වල් නාශකයක් නිෂ්පාදනයට තීරණයක්

by Staff writer 18-06-2021 | 2:46 PM

COLOMBO (News 1st) - පරිසරයෙන් ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාඛ වර්ග කිහිපයක් යොදා ගනිමින් ප්‍රබල ස්වාභාවික වල් නාශකයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග රසායනික වල් නාශක ද තහනම් වීම හේතුවෙනි. ඉන් ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීමේ අරමුණින් එලෙස ස්වාභාවික වල් නාශකයක් නිෂ්පාදනය කෙරෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ය. ආක්‍රමණික ශාඛ බහුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් හෙට(19) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මේ අතර කාබනික වගාව නැංවීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීමට සූදානම් වන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ සියලු නිලධාරීන්ට දැනුම් දී ඇත. පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, කාබනික වගාවට ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යංශයට තනිව කළ නොහැකි බවය. ඒ සඳහා සියලු අමාත්‍යාංශවල සහාය හිමිවිය යුතු බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.