''ශ්‍රී ලංකාව කිසිදු රටකට හෝ කණ්ඩායමකට ගැති නොවන ප්‍රතිපත්ති මත කටයුතු කළ යුතුයි''- විපක්ෂ නායක

by Staff writer 17-06-2021 | 8:59 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව උත්සාහ කළ යුත්තේ ඵලදායී සබඳතා තුළින් රටට ප්‍රතිලාභ අත්කර ගැනීම මිස බාහිර බලපෑම්වලට නතුව කටයුතු කිරීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, ඉන්දියාවේ වයොන් ප්‍රවෘත්ති සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. මාධ්‍යවේදිනිය :- 2020 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.6 %කින් පසුබෑමකට ලක්වෙලා තියෙන. ඒ වගේම ලෝක බැංකුව කියන ආකාරයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 109 %කටත් වඩා ඉක්මවා තිබෙනවා. මෑතකදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණයක් ලබා දුන්නා. ඇත්තටම ඔබේ රට බංකොලොත් වෙමින්ද මේ යන්නේ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස :- මම එහෙම හිතන්න කැමති නෑ. නමුත් වත්මන් ප්‍රවණතා සහ ආර්ථික පුරෝකථන සුබදායී බවක් නම් පෙනෙන්න නැහැ. අවදානම් තත්ත්වයක් පෙනෙන්න තියෙන්නෙ. මම හිතනවා අපි වඩාත් විචක්ෂණශීලී විය යුතුයි. ආර්ථික කළමනාකරණය සඳහා ප්‍රායෝගික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තු වෙනවා අදාළ බලධාරීන් නැත්නම්, වගකිව යුත්තන් වෙනස්විය යුතුයි. ඒවගේම අවේනික ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වෙනවා. මාධ්‍යවේදිනිය :- මේ ආර්ථිකය අර්බුදයට හේතුව කුමක්ද? වැඩිවෙමින් තිබෙන චීන බලපෑම ද? පහුගිය මාසේ ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කළා. ඩොලර් බිලියන 1.4 ක චීන අයෝජන යටතේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයේ නැත්නම් ණය උගුලේ ගිලෙන්න ද යන්නේ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස :-ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ අභිමානවත් ජාතික රාජ්‍යයක්. අපි අපේ ප්‍රෞඩ සංස්කෘතිය ගැන ආඩම්බර වෙනවා. අපි අපේ බහුවිධ සංස්කෘතිය ගැන ආඩම්බර වෙනවා. අපි අපේ උරුමය ගැන ආඩම්බර වෙනවා. ඉතිහාසය ගැන ආඩම්බර වෙනවා. ශ්‍රී ලාකිකයින් ලෙස අප කිසිවිටෙක සූදානම් නැහැ. වෙනත් රාජ්‍යයක හෝ රාජ්‍ය නොවන පාර්ශ්වයක අවශ්‍යතා ඉටුකරන්න. කිසියම්වූ දේශපාලන කණ්ඩායමකින් ආවත් තනි රාජ්‍යයකින් අවත් ජාත්‍යන්තර අතපෙවීම්වලට ශ්‍රී ලාංකිකයන් කැමති නැහැ. අපි ශුද්ධ ලෙස අපේ රටේ දේශපාලන ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය හා ඒකීයභාවය ආරක්ෂා කරගන්නවා. රටක් විදිහට අපිට ඕනේ අපේ දෙපයින් නැගී සිටින්නයි. අපිට ඒ සඳහා වන ස්වයං විනයක් තියෙනවා. ඒ සඳහා වන හැකියාව තියෙනවා.ජනතාවට ශක්තිය තියෙනවා. දෙපයින් නැගී සිටින්න. එම නිසා ඇත්ත වශයෙන්ම අපිව පාලනය කරන්න කෙනෙක් වුවමනා නැහැ. ඒ වගේම අපිට පාත්තරය අරගෙන ලෝකෙ වටේ යන්න ඕනෙත් නෑ. ශ්‍රී ලාංකිකයින්ට තම තමන් ගැන බලාගන්න පුළුවන්. එක දෙයක් මම පැහැදිලිව කිව යුතුයි. ශ්‍රී ලාංකිකයින්ගේ මානසිකත්වය හා දැක්ම තමයි අපි විදේශ බලපෑම්වලට නතු නොවිය යුතුයි කියක එක. මාධ්‍යවේදිනිය :- ඔබ විදේශීය මැදිහත්වීම් ගැන කියනවා. ඔබ මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නෑ. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයට නතුවෙමින්ද ඉන්නේ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස :- ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව හැම වෙලේම උත්සාහ කරන්නේ සියලු රටවල් සමග ප්‍රගතිශීලී හා ඵලදායී සබඳතා ගොඩ නගාගන්න. අපි නොබැඳි රටක්. අපි බොහෝ වෙලාවට ඉන්දියාව සමග සබඳතා පවත්වාගෙන යනවා. ඒ වගේම චීනය සමගත් සබඳතා පවත්වාගෙන යනවා. ඒ වගේමයි ලෝකේ සෙසු රටවල් සමගත්.අපි හැම වෙලේම බැලිය යුත්තේ ඵලදායී සබඳතා තුළින් අපට ප්‍රතිලාභ ලබා ගන්නයි. අපිට දැන් වැඩි වශයෙන් පෙනෙන්න තියෙන දේ තමයි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජාතික න්‍යාය පත්‍රය බාහිර සාධක මත තීරණයක් වන්නක් බව. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ඒකට කැමති නෑ.