''අමෙරිකාව සමග සතුරුකමක් නැහැ'' - රුසියානු ජනපති

තානාපතිවරු යළි සේවයේ පිහිටුවීමට අමෙරිකා - රුසියා ජනපතිවරු එකඟ වෙති

by Staff writer 17-06-2021 | 9:20 AM

COLOMBO (NEWS1ST) :  සයිබර් ආරක්ෂාව සහ න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට රුසියා - අමෙරිකානු ජනාධිපතිවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

ඒ, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර විලා ලා ග්‍රේන්ජ් හිදී පැවති නායකයින් දෙපළගේ මංගල හමුවේදීයී. පැය තුනක කාලයක් පුරා පැවති සාකච්ඡාව, මිත්‍රශීලීත්වයෙන් තොර වෘත්තීයමය සාකච්ඡාවක් වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. සිය රට කැඳවූ දෙරටේ තානාපතිවරුන් යළි සේවයේ පිහිටුවීමට ද නායකයින් දෙපළ එහිදී එකඟ වූහ. පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා ඝාතකයෙකු ලෙස හඳුන්වනු ලැබී ය. ඒ හේතුවෙන් විලැද්මීර් පුටින් වොෂින්ටනයේ සිටි රුසියානු තානාපතිවරයා සිය රට කැඳවීමත් සමග, ජෝ බයිඩන් ද මොස්කව්හි සිය තානාපතිවරයා යළි කැඳවීමට කටයුතු කළේ ය. සිරගතව සිටින විෂ ශරීරගත කළ රුසියානු විපක්ෂ නායකවරයා මිය ගිය හොත්, එහි ප්‍රතිවිපාක රුසියාවට විඳීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. මෙවැනි හමුවකින් අනතුරුව නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්ප්‍රදාය වුවත්, රුසියා, අමෙරිකා ජනාධිපතිවරුන් වෙන් වෙන්ව මාධ්‍ය සාකච්ඡා පවත්වා තිබිණ. ජෝ බයිඩ්න්ට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් සඳහන් කළේ, රුසියාවට නව සීතල යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. රුසියානු විපක්ෂ නායකයා සම්බන්ධයෙන් සහ අමෙරිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාරවලට රුසියාව වගකිවයුතු බවට බයිඩ්න් ඉදිරිපත් කළ මත ප්‍රතික්ෂේප කරන බව, රුසියානු ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. එහෙත්, ඔහු අවධාරණය කළේ අමෙරිකාව සමග සතුරුකමක් නොමැති බවයි. මේ අතර සාකච්ඡා ධනාත්මක බව, අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ජෝ බයිඩ්න් සඳහන් කළේ ය. රුසියාව සමග සබඳතා වර්ධනය කරගැනීමේ සැබෑ අපේක්ෂාවක් මේ වන විට පවතින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.