ගම්මැද්ද ජාත්‍යන්තර නායකත්ව කවුන්සිලයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඔන්ලයින් ඔස්සේ...

by Staff writer 17-06-2021 | 10:41 PM

COLOMBO (NEWS1ST) :  ගම්මැද්ද නායකත්ව සම්මන්ත්‍රණ මාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හෙට (18) උදෑසන 10.00 ට Zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

නායකයින් බිහි කිරීමේ අරමුණින් ගම්මැද්ද ජාත්‍යන්තර නායකත්ව කවුන්සිලය සංවිධානය කරනු ලැබූ V-Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවූවන්ට මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සහතික පත් පිරිනැමෙනු ඇති. කොවිඩ් උවදුර හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබෙන පසුබිමක, තරුණ ප්‍රජාව දිරිමත් කරමින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින්ගේ නායකත්ව අත්දැකීම් බෙදා ගැනීමේ අරමුණ ඇතිව මෙම සම්ම්න්ත්‍රණ මාලාව සංවිධානය කෙරිණ. ගම්මැද්ද ජාත්‍යන්තර නායකත්ව කවුන්සිලය මෙහෙයවූ මෙම සම්මන්ත්‍රණ මාලාවේ සහතික ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතායි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විලියම් බිල් සිල්කොක් මහතා මෙහි එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. ග්ලෝබල් රිස්ක් මිටිගේෂන් ෆවුන්ඩේෂන් ආයතනයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ආචාර්ය රොබට් එල්රිජ් මහතා ද මෙම උත්සවය අමතනු ඇති.
''ගම්මැද්ද ජාත්‍යන්තර නායකත්ව කවුන්සිලය කෙටි කාලයක් තුළ ළඟා කර ගත් දේ පිළිබඳව අපි සතුටු වෙනවා. දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සමග සිය වටිනා කාලය කැප කරමින් අත්දැකීම් බෙදාහදා ගත් විශිෂ්ට කථිකයින්ට ස්තුතියි..''
ඒ,  ගම්මැද්ද ක්‍රියාන්විතයේ ප්‍රධානී , කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා V-Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාව සම්බන්ධයෙන් පළ කළ අදහසයි. 'ගම්මැද්ද' රටපුරා 35,000 කට අධික ගම්මාන සංඛ්‍යාවක් ආවරණය කරමින් සහ ග්‍රාමීය සංවර්ධනය, අන්තර් ජාතික සබඳතා, කලාව, ඉතිහාසය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සුවිශාල සේවයක් ඉටුකරන මෙරට විශාලතම බිම් මට්මේ ක්‍රියාන්විතය වේ. එමෙන්ම 10,000 කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත 'V-Force' ගම්මැද්ද ක්‍රියාන්විතයේ ස්වේච්ඡා හස්තයයි.