කොවිෂීල්ඩ් මාත්‍රාවක ඵලදායිත්වය ගැන අනාවරණයක්

කොවිෂීල්ඩ් මාත්‍රාවක ඵලදායිත්වය ගැන ඉන්දීය සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

by Staff writer 17-06-2021 | 2:04 PM

COLOMBO (NEWS1ST) : කොවිෂීල්ඩ් කොරෝනා මර්දන එන්නතේ එක් මාත්‍රාවක්, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව 61% ක් ඵලදායී බව, ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

එරට කොරෝනා කාර්ය සාධක බලකායේ සභාපති, ආචාර්ය එන්. කේ. අරෝරා සඳහන් කළේ, ඉන්දියාව කරන ලද නවතම පර්යේෂණයකින් එය තහවුරු වූ බවයි. කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා අතර පරතරය පිළිබඳ ප්‍රබල සංවාදයක් මතුව ඇති පසුබිමක ඔහු එම අනාවරණය සිදු කළේ ය. කොවිෂීල්ඩ් එන්නත්කරණය ආරම්භ වූ වකවානුවේ ප්‍රකාශයට පත් කෙරුණේ පළමු මාත්‍රාව ලබාගෙන සති 4 ක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවයි. සති 6 ත් 8 ත් අතර කාලයකදී දෙවැනි මාත්‍රාව ලබාගත හැකි බව, පසුව නිවේදනය කෙරිණ. එහෙත්, පසුගිය මැයි මාසයේදී ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ, පළමු මාත්‍රාව ලබාගෙන සති 12 ත් 16 ත් අතර කාලයකදී දෙවැනි මාත්‍රාව ලබාගත හැකි බවයි. විද්‍යාත්මක කරුණු මත පදනම්ව එලෙස මාත්‍රා දෙක අතර පරතරය දීර්ඝ කළ බව, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.