''රටේ මූල්‍ය තත්ත්වය හොඳයි කියලා, කියන්න බැහැ'

''රටේ මූල්‍ය තත්ත්වය හොඳයි කියලා, කියන්න බැහැ' - ඇමති අමරවීර

by Staff writer 16-06-2021 | 9:30 PM

COLOMBO (NEWS1ST) : රජයේ අමාත්‍යවරු කිහිප දෙනෙක් අද ත් රටේ ආර්ථික අර්බුදය පිළි​බඳව අදහස් පළ කළහ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, රටේ මූල්‍ය තත්ත්වය යහපත් යැයි කිව නොහැකි බවයි.
''ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම වර්ධන වේගය අඩුවෙමින් යනවා. නිෂ්පාදන ක්ෂේත්‍රය අඩු වෙලා තියෙනවා. ඒ සියලු අංශ ඇණහිටලා තියෙන්නේ, අපි අවංකව කියන්න ඕනේ. අපේ රටේ මූල්‍ය තත්ත්වය හොඳයි කියලා අපිට කියන්න බැහැ''
මේ අතර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, උද්ගතව ඇති තත්ත්වය මෙරටට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවන බවයි.
''ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවට පස්සේ ජනතාවට සහන සලසන්න පෙට්‍රල් මිල අඩු කළාට වඩා විශාල අනුපාතකයකින් දිලාතියෙනවා බදු සහන. හැම මනුස්සයාම භාණ්ඩ පරිභෝජනය කරන කොට 15 %ක බද්දක් ගෙව්වා. දැන් ගෙවන්නේ 08% යි. උපයන කොටම ගෙවන්න ඕනේ වෙනම බද්දක් ඒක සම්පූර්ණයෙන් නැති කරලා තියෙන්නේ.ඒක ඒ අය අතේ තියෙන්නේ''
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2019 අවසන් වනවිට මෙරට සතුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක විදේශ සංචිත පැවති අතර එය 2020 වසර නිමාවන විට ඩොලර් බිලියන 5.7 ක් දක්වා අඩු විය. මේ වසරේ මාර්තු මාසය නිමාවන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් දක්වා පහත වැටී තිබේ. විදේශ ණය ගෙවීම්, කොටස් වෙළඳපොළ ආයෝජන ඉවත්වයාම ඇතුළු කරුණු හේතුවෙන් මෙරටින් පිටතට ඇදී ගිය විදේශ විනිමය ප්‍රමාණය ද කැපි පෙනන ලෙස ඉහළ ගොස් තිබිණ. මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයෙන් 2019 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ආදායමක් ලැබි තිබුනත් පසුගිය වසරේදී ලැබි තිබුණේ, බිලියන 0.7 ක් පමණි. නාවික හා ගුවන් සේවා ප්‍රවාහන අංශයෙන් 2019 දී ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ආදායම ලැබුව ද පසුගිය වසරේදී එය බිලියන 1.2 ක් දක්වා අඩු විය. 2020 වසරෙදී රජය විදේශ ණය ගැනීම් , සෘජු ආයෝජන හා ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාගත් හුවමාරු පහසුකම් යටතේ ඩොලර් බිලියන 3 ක් ලබා ගෙන තිබේ. නමුත් මහ බැංකුව පවසන පරිදි රාජ්‍ය ණය ගෙවීම් , කල් පිරිනු ස්වෛරීත්ව බැඳුම්කර පියවීම හා ද්විතික වෙළදපොළේ අලෙවි කිරීම, රාජ්‍ය සුරැකුම්පත් හා කොටස් වෙළෙඳපොළ ආයෝජන ඉවත්වයෑම තුළින් ඩොලර් බිලියන 4.2 ක් රටින් පිටතට ගලා ගොස් තිබේ. විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගන්නවා වෙනුවට රජය මේ වනවිට අනුගමනය කරන්නේ හිතවත් රටවලින් විනිමය හුවමාරු පහසුකම් ලබාගැනීමයි. ඒ යටතේ චිනයෙන් ඩොලර් බිලියන 1.5 ක ට සමාන චීන මුදල් හා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක විනිමය හුවමාරු පහසුකම් ලබා ගත්තේ ය. මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් රජයට විදේශ ණය ගෙවීමට ඇති බවත් ඉන් බිලියන 1.3 ක් මේ වන විට ගෙවා ඇති බවත් මහ බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මහ බැංකුවට අනුව තවත් බිලියන 2.4 ක් ඉදිරි කාලය තුළ ගෙවීමට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය වෙනුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 780 ක්, ඉන්දියාවෙන් හුවමාරු පහසුකම් යටතේ ඩොලර් මිලියන 500 ක්, බංග්ලාදේශයෙන් හුවමාරු පහසුකම් යටතේ ඩොලර් මිලියන 200 ක් වශයෙන් මුදල් ලබාගැනීමට සැලසුම් කර ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කළේ ය.