ශ්‍රී ලංකාවට පත්වී එන මීළඟ අමෙරිකානු තානාපතිනිය

මෙරටට පත්වී එන මීළඟ අමෙරිකානු තානාපතිනිය ජූලී චන්ග්

by Sagarika Chathumali 16-06-2021 | 8:30 AM

COLOMBO (NEWS1ST) :  අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මී ළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කරනු ලැබ තිබේ.

ධවල මන්දිරය ඊයේ (15) මේ බව නිවේදනය කළේ ය. එරට විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ජූලී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ලේකම්වරිය ද වන්නී ය. ඇය මීට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර තිබේ. ජූලී මීට පෙර ලොව රටවල් කිහිපයකම තානාපති කාර්යාලවල විවිධ තනතුරු හොඹවා ඇති හසල පළපුරුද්දක් සහිත අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි. ජූලී කාම්බෝජයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ තායිලන්තයේ බැංකොක්හි තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශකවරිය ලෙස ද සේවය කර තිබේ. ජූලී මීට පෙර ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකවරියක ලෙස කටයුතු කර ඇති අතර කොලොම්බියාව, වියට්නාමය සහ ජපානය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල සහ චීනයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ද සේවයේ නියුතුව ඇත. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ජූලි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ. මෙරටට පත්වී පැමිණීමට නියමිත නව තනාපති ජූලී චන්ග් කොරියානු, ජපන්, සපාඤ්ඤ සහ කාම්බෝජයේ (කෙමර්) භාෂාවන් ද හැසිරවීමට දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.