නැව ගිනිගත් අවස්ථාවේ එහි තෙල් කාන්දුවක් වී නැහැ - විමර්ශන කණ්ඩායමෙන් අනාවරණයක්

by Staff writer 16-06-2021 | 3:24 PM

COLOMBO (News 1st) - මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගනිමින් තිබූ අවස්ථාවේ එහි කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව අනාවරණ වී තිබේ.

ඒ, විමර්ශන කණ්ඩායම් මෙතෙක් කළ විමර්ශනවලිනි. විමර්ශන කණ්ඩායම් පැවසුවේ, නෞකාවේ ගින්න මැඩපැවැත්වීමෙන් අනතුරු ලබා ගත් ජල සාම්පල තවදුරටත් විමර්ශනයට ලක්කරමින් ඇති බවයි. ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වෙමින් පවතින අවස්ථාවේ තෙල් කාන්දුවක් සිදුවුවේද යන්න තහවුරු කර ගැනීම වෙනුවෙනි. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ධීවර ක්ෂේත්‍රයට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කර වාර්තා කිරීම සඳහා පත් කළ ධීවර අමාත්‍යාංශ කමිටුව අද දෙවැනි වරට රැස්වේ. අද රැස්වන කමිටුවේදී නෞකා අනතුරින් පීඩාවට පත් ධීවරයින් සඳහා ලබා දිය යුතු ඉදිරි සහන පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව ධීවර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන්, වාද්දුව සිට මීගමුව දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතු තවදුරටත් අත්හිටුවා තිබේ. නමුත් මීගමුව කලපුව තුළ පමණක් ධීවර කටයුතුවල නිරත වීමට එම ප්‍රදේශයේ ධීවරයින්ට අවස්ථාව ලබා දී ඇති බව ද ධීවර අමාත්‍යංශය පවසයි. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවලට මියගිය කැස්බෑවන් 4 කුගේ සිරුරු ගොඩගසා තිබුණි. ඒ, කළුතර උතුර, මොරගල්ල සහ වාද්දුව තල්පිටිය වෙරළ තීරයන්වලටයි. ඒ අනුව මේ වනවිට දිවයිනේ විවිධ වෙරළ තීරයන්ට ගොඩගසා ඇති කැස්බෑවන් සංඛ්‍යාව 35 කට අධිකය. වනජීවි අමාත්‍යාංශය සඳහන් කළේ, මියගිය ඩොල්ෆින් සත්ත්වයින් 05 දෙනෙකුගේ සහ තල්මසෙකුගේ සිරුරක් ද ගත වු දින කිහිපය තුළ වෙරළ තීරයන්ට ගොඩ ගසා ඇති බවය.