නැවේ දේශීය නියෝජිතයාට ඇප..

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවට අපේ අය මුලින්ම ඇතුළු වුණු හැටි..

by Staff writer 16-06-2021 | 10:07 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමට පෙර ලබා ගත් දර්ශන පෙළක් අපට ලැබී තිබුණි.

පසුගිය මැයි 20 වැනි දා ලබා ගත් මෙම දර්ශන අනුව තහවුරු වන්නේ මෙරට බලධාරීන් අනුයුක්ත කළ කණ්ඩායමක් නැවට ගොඩවී විමර්ශන සිදු කරන ආකාරයයි. මැයි 20 වැනි දා වනවිට නෞකාවේ බහලුම් අතරින් දුමක් පිටවන නමුත් ගින්නක් නොමැති බව මෙම දර්ශන අනුව පෙනීයයි. නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූයේ මැයි මස 19 වැනි දා රාත්‍රී 10.37ට පමණය. ඒ වන විටත් නෞකාවේ දුමක් පිටවන බව එහි කපිතාන්වරයා, දේශීය ඒජන්තවරයාට දැනුම් දී තිබුණි. දේශීය නියෝජිතයා විසින් මෙරට හාබර් මාස්ටර් වෙත පසුව දැනුම් දී තිබුණේ, තත්ත්වය උග්‍රවන බවයි. ගින්න නෞකාවේ ව්‍යාප්ත වීමත් සමග නෞකාවේ කාර්යය මණ්ඩලය ඉන් ඉවත් කර ගැනුණි. තත්ත්වය මෙසේ තිබියදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඊයේ(15) මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය උපාංග ශ්‍රී ලංකාව සතුව නොමැති බවය. මේ හේතුව නිසා අසල්වැසි රටවල සහය පැතීමට සිදු වූ බව ද ඔහු කියා සිටියේ ය. එක්ස්පල් පර්ල් නෞකාවේ හිමිකරුවන් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, නෞකාවේ ඉදිරි කොටස ගිලාබසින නමුත් ඉන් කිසිදු තෙල් කාන්දුවක් සිදු නොවන බවය. නෞකාව ගිලාබසින ප්‍රදේශය අවට සුන්බුන් කිහිපයක් නෞකාව හිමි සමාගම විසින් පත් කළ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගත් බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්ය. මේ අතර අද උදෑසන අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි. ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා හෙට්ටිආරච්චි මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කළේ ය. එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. සැකකරුට විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ මාහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරදිය යුතු බවය.