ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය: GMOA ප්‍රතිචාරය

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය : දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා - GMOA

by Staff writer 16-06-2021 | 9:05 PM

COLOMBO (NEWS1ST) : මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව , සුපිරි වෙළඳසල්වලින් මාර්ගගත ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ, රජයක් ලෙස දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා වූ ක්‍රමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. එහි සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ, මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරිම සඳහා වන උත්සාහය නිවැරදි දෙයක් නොවන බවයි.
''රජයක් හැටියට දුම්කොළ මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා වු ක්‍රමය පිළිබඳව අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ කටයුත්ත වැරදි දෙයක් හැටියට දකිනවා''
තවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මත්පැන් භාවිතය කිසිම ආකාරයකින් හෝ අනුමත කළ හැකි දෙයෙක් නොවන බවයි.
''අපිට සම්පුර්ණයෙන්ම කියන්න තියෙන්නේ මත්පැන් භාවිතය මොනව ආකාරයකින්වත් අනුමත කරන්න පුළුවන් දෙයෙක් නෙවෙයි. සංචාරණ සිමා සහ අනෙකුත් දේවල් අපිට මේවායෙන් වැළකි සිටීමට ලබාදිලා තියෙන හොදම අවස්ථාවන් හැටියට භාවිතයට අරගෙන මේවායින් වැළකි සිටිම තමයි ඉතාමත් වැදගත් වන්නේ.''
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසන්නේ, දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය සොයා කඳු උඩ යද්දි රජය ඔන්ලයින්වලින් මත්පැන් ගෙවල්වලට ගෙන්වා දීමේ වැඩපිළිවෙළවල් සකස් කරමින් සිටින බවයි.
''රටේ දරුවෝ ඔන්ලයින් අධ්‍යාපන හැදැරීම සඳහා කඳු උඩට යනවා වහල උඩට යනවා. ඊයේ පෙරේදා වහල උඩට නැග්ග ළමයෙක් වැටිලා තුවාලවෙලා තියෙනවා. අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන රජය ඊයේ ඔන්ලයින්වලින් මත්පැන් ගෙවල්වලට ගෙනල්ලා දෙන වැඩපිළිවෙළක් සකස් කරන්න යනවා''