ණයවර ලිපි අවලංගු කරන්නැයි, ඉල්ලීමක්

''අපෙන් නම්, වාහන ඕනෙ ද කියලා ඇහුවේ නැහැ...'' - ඇමති අමරවීර

by Staff writer 16-06-2021 | 9:46 PM

COLOMBO (NEWS1ST) :  සුඛෝපභොගී ජීප් රථ 228 ක් ඇතුළු වාහන 399ක් ආනයනය සඳහා අප්‍රේල් මස 22 වැනිදා විවෘත කළ ණයවර ලිපි 06 අවලංගු කරන ලෙස ලංකා බැංකුව අද (16) සිංගප්පූරුවේ හොංකොං සහ ෂැංහයි බැංකුවෙන් ඉල්ලා තිබේ.

එම ණයවර ලිපි විවෘත කෙරුණේ, ලබන වසරේ මැයි මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදියි. ලංකා බැංකුවේ සංවර්ධන බැංකු අංශයේ ප්‍රධාන කළමනාකරු විසින් මෙම ණයවර ලිපි 06 විවෘත කළේ, මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුවයි. රුපියල් කෝටි 370 කට ආසන්න විටනාකමින් යුත් අදාළ වාහන 399 කල් බදු ක්‍රමය යටතේ ලංකා බැංකුවෙන් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ පසුගිය මැයි මස 05 වැනිදා ඉදිරිපත් කර තිබිණ. එහෙත් මේ මොහොතේ සීමීත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීහමට අමාත්‍ය මණ්ඩලය මැයි මස 24 වැනිදා තීරණය කළේ ය. මාධ්‍යවේදීහු මේ පිළිබඳව අද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ද ප්‍රශ්න කළහ. ප්‍රශ්නය :- ඔබතුමාලාගෙන් ඇත්තටම වාහන ඕනෙද කියලා ඇහුවද? ඇමති අමරවීර :- නෑ.. අපෙන් නම් ඇත්තටම වාහන ඕනෙද කියලා ඇහුවේ නැහැ. මම දන්නා තරමින් නවක මන්ත්‍රීවරුන්, ඒ අයට ප්‍රශ්නයක් තියෙනවා, කතානායකතුමාගෙන් ඉල්ලිමක් කරපු බව දන්නවා. කතානායකතුමා ඒ ඉල්ලිම රජයට ඉදිරිපත් කරපු බව තමයි දන්නේ.-- ප්‍රශ්නය :- පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ 225යි. නමුත් මෙතන වාහන 227ක් තියෙනවා. ඉතුරු 02 කාටද දෙන්න යන්නේ? ඇමති අමරවීර :- මම දන්නෙ නැහැ. ඒ පිළිබඳව මට පිළිතුරක් දෙන්න පුළුවන්කමක් නැහැ. -. ප්‍රශ්නය :- එල්.සි එක ඕපන් කරාට පස්සේ තමයි කැබිනට් පත්‍රිකාව යන්නේ.එතකොට අනිවාර්යෙන්ම මේක සිද්ධ වෙලානේ තියෙන්නේ? ඇමති අමරවීර :- නෑ.. කොහොම වෙතත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරා . ඔබ කියන විදියට අපි යම් ආකාරයක වාහන ගෙන්විමක් සිදු කළත් මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.