නීතිවිරෝධී ක්‍රියා සිදු කළ 04කට වැඩ වරදී

ප්‍රදේශ කිහිපයකදී නීතිවිරෝධී ක්‍රියා සිදු කළ 20 හැවිරිදි දෙදෙනෙකු ඇතුළු 04 කට වැඩ වරදී..

by Hashini De Mel 15-06-2021 | 10:02 AM

COLOMBO (News 1st) - දිගන, මන්නාරම සහ කෝපායි ප්‍රදේශවලදී විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සොයා ඊයේ (14) පොලීසිය සිදු කළ මෙහෙයුම් අතරතුරදීය. ඒ අනුව තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ජීප් රථයක සිටි පුද්ගලයෙකු ළඟ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තොලයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 10ක් හා පතොරොම් ගැබ් 02ක් පොලීසිය භාරයට ගෙන තිබේ. එම පුද්ගලයා සහ එම ජීප් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පිස්තෝල ළඟ තබාගත් පුද්ගලයා තිහාරිය, කලගෙඩිහේන පදිංචිකරුවෙකු වන අතර ජීප් රථයේ රියැදුරු පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ. මීට අමතරව මන්නාරම ප්‍රදේශයේ මාර්ගබාධකයකදී නම් දෙකකින් සහ අංක දෙකකින් යුක්ත ජාතික හැඳුනුම්පත් 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 20ක පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අතර කෝපායි ප්‍රදේශයේදී පොලිස් ලාංඡනයක් සහිතව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ව්‍යාජ ලෙස පොලිස් ලාංඡනයක් සකසා එය පොලිස් යතුරුපැදියක් ලෙස පෙනෙන ආකාරයට සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු වයස අවුරුදු 20ක පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.