තෙල් මිල ඉහළ දැමූ වගකීම ඇමති කර මත පැටවීම හෙළාදකී

BREAKING : තෙල් මිල ඉහළ දැමීමේ වගකීම ඇමති ගම්මන්පිල මත පැටවීමේ වෑයම පක්ෂ 8 ක් හෙළා දකී

by Sagarika Chathumali 14-06-2021 | 4:49 PM

COLOMBO (NEWS1ST) :  ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ 08ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අපේ ජනබල පක්ෂය

(අතුරලියේ රතන හිමි)

, ජාතික නිදහස් පෙරමුණ

(විමල් වීරවංශ)

, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

(වාසුදේව නානායක්කාර)

, ලංකා සමසමාජ පක්ෂය

(තිස්ස විතාරණ),

ජාතික කොංග්‍රසය

( ඒ.එල්එම්. අතාවුල්ලා)

, ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය

(ජී. වීරසිංහ)

, එක්සත් මහජන පක්ෂය

(ටිරාන් අලස්)

, ශ්‍රී ලංකා මහජන පක්ෂය

(අසංක නවරත්න)

යන පක්ෂ 8 විසින් මෙම ඒකාබද්ධ නිවේදනයක  නිකුත් කරනු ලැබ තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන දෙඅංශය ම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක 'ජනප්‍රිය නොවන' තීරණ ගැනීම කුමන ආණ්ඩුවක වුව සිදු විය හැකි බවත් තෙල් මිල වැඩි කිරිමේ තීරණය ද එවැනි 'ජනප්‍රිය නොව තීරණයක්' බව ත් අදාළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය. එම ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ, තෙල් මිල වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ගනු ලැබූ තීරණයේ වගකීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බූදයකට ඇද දමා ඇති බවයි. තවද ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කිරීම තුළින් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි, යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇතැයි ද එහි සඳහන් ය. එම ඒකාබද්ධ නිවේදනයේ පෙන්වා දෙන්නේ, එවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් මගින් අවසන ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවයි. එකී කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බව ද අදාළ නිවේදනය මගින් එම පක්ෂ 8 අවධාරණය කර සිටී.