ගාලු එන්නත් සිද්ධියේ නාම ලේඛනයක් අධිකරණය ඉල්ලයි

බස්නාහිරින් ගාල්ලට ගොස් එන්නත් ගත් සිදුවීම: නාම ලේඛනයක් ඉල්ලා අධිකරණ නියෝගයක්

by Staff writer 14-06-2021 | 6:44 PM

COLOMBO (News 1st) - උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී පසුගිය 05 සහ 07 යන දිනවල ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන්නැයි, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට අද නියෝග කර තිබේ.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසිනි. එම දින දෙකේ කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගගේ පැමිණ ඇතැයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණ එන්නත්වලින් ගබඩා කළ හා ඉතිරි වූ එන්නත් ප්‍රමාණයන් පිළිබඳ විස්තර මෙන්ම එදින එම ස්ථානයේ CCTV දර්ශන සියල්ල ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙසය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතරමැදි පුද්ගලගයකුගේ දුරකතන වාර්තා ලබා දෙන්නැයි ද අදාළ දුරකතන සමාගමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.