තෙල්වලින් දුවන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතී ද?

තෙල්වලින් ධාවනය වන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතී ද?

by Staff writer 14-06-2021 | 8:25 PM
COLOMBO (NEWS1ST) :  පිටරටින් ගෙන්වන ඛනිජ තෙල් මත රඳා පවතින් පරිභෝජන රටාව වෙනස් කිරීමේ යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔවුන් ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ද මේ යෝජනාවලට ඇතුළත් ය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්ධන ආනනයන සඳහා වැය කිරීමට සිදුවී තිබේ. 2019 තෙල් ගෙන්වීම සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3677 කි. කොවිඩ් වසංගතය නිසා රට වසා තිබීම සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීම හේතුවෙන් 2020 වසරේ තෙල් ගෙන්වීමට වැයව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,325 යි. නමුත් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ වසරේ ඛනිජ තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 4000 ක් පමණ වැය වනු ඇති බවයි. තෙල් ගෙන්වීමට මෙවැනි මුදල් වැය කරන අතරවාරයේ ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 652 ක් ණය වී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි. ඊයේ පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ මේ පසුබිම තුළ ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස්කිරීමට යෝජනා ඉදිරිපත්වී ඇති බවයි. ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා දමා ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කිරීම. ත්‍රිරෝද රථ සදහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබාදීම. කැලණිතිස්ස විදුලි බලාගාරය ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් බවට පත්කිරීම. දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත්කිරීම. සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිලිවලට සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීම. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන මුදල අඩු කර ගැනීමට අපේක්ෂිතයි. අනෙකුත් සාධක සියල්ල සලකලා ඉදිරියේදී ඛනිජ තෙල් වලින් දුවන වාහන ලංකාවට ගේන එක අඩුකරන සැලැස්මක ඉන්නවා. ඒ සැලැස්මේ කොටසක් විදිහට තමයි ඉන්ධන වැඩි කලේ කියලා. එතකොට දැන් අර මන්ත්‍රීවරුන්ට ගේන හදපු වාහන එ්වා විදුලි බලයෙන් දුවන ඒවාද මේ අතර මන්ත්‍රීවරුන්ට ගේන සූදානම් වූ වාහන විදුලි බලයෙන් දුවන ඒවාදැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ප්‍රශ්න කර සිටී.
''විහිළු සහතම දේ තමයි ජනාධිපතිවරයාගේ නිවේදනයේ කියනවා. පරිසර දූෂණය සහ අනෙකුත් සාධක සියල්ල සලකලා ඉදිරියේදී ඛනිජ තෙල්වලින් දුවන වාහන ලංකාවට ගේන එක අඩුකරන සැලැස්මක ඉන්නවා. ඒ සැලැස්මේ කොටසක් විදිහට තමයි ඉන්ධන වැඩි කළේ කියලා. එතකොට දැන් අර මන්ත්‍රීවරුන්ට ගේන හදපු වාහන එ්වා විදුලි බලයෙන් දුවන ඒවා ද ඒවා වතුරෙන් දුවන එ්වාද ඒවා මේ ඛනිජ තෙල්වලින් තමයි දුවන්නේ එතකොට ඛනිජ තෙල්වලින් දුවන සුපිරි වාහන ගෙන්න යද්දඒකට මේ කිසිම ආර්ථික සැලැස්මක් අදාළ නෑ.  හැබැයි ඩොලර් ටික නැතිවෙලා ඩොලර් ටිකට අදාළ ඉතුරු කිරීමක් කරගන්න කියලා ජනතාවගේ බඩට ගහන්න යද්දි එකෙදි මේවා ඔක්කෝම අදාළයි''
මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය පැලැස්තර විසඳුම් දමමින් සිටින බවයි.
 ''ආණ්ඩුවේ ප්‍රශ්නය විදේශ විනිමය හිගය ඒක නිසා තමයි වාහන ගේන එක නැවැත්තුවේ අනිත් ආනයනය භාණ්ඩ ගේන එක නැවැත්තුවේ, ෆාම් ඔයිල් ගේන එක නැවැත්තුවේ. පොහොර ගේන එක නැවැත්තුවේ, ඒක නිසා තමයි දැන් මේ කියන්නේ තෙල් මිල ඉහළ දමනවා කියලා. ඇත්ත වශයෙන්ම විසඳුමක් හොයා ගන්න ඕනේ විදේශ විනිමය හිඟය සම්බන්ධයෙන් අපිට කොච්චර ණය ගෙවන්න තියෙනවාද? එන මාස 12 දි සංචිත තියෙන්නේ ඩොලර් මිලියන් 4018 යි. ජුලි මාසේ අපිට ජාත්‍යන්තර බැඳුම්කරයක් තියෙනවා. ඩොලර් බිලියනයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා සංවර්ධන බඳුම්කර තියෙනවා. මං හිතන්නේ තව ඩොලර් මිලියන 500 ක් 600 ක්. ගෙවිය යුතු වාරික සහ පොලි තියෙනවා. මේ ආණ්ඩුවට විතරක් එතකොට වසරකට ආණ්ඩුවේ ගෙවීම් පමණක් තියෙනවා. ඔය සියලු සංචිතවලට වඩා වැඩි ගෙවිමක් කරන්න. චීනෙන් අපිට ඩොලර් මිලියන 1500 ක් ලැබෙනවා කිව්වට ඇත්ත වශයෙන්ම සොප් එකක් හැටියට ඩොලර් එකක්වත් ලැබුනෙ නෑ.  අපිට ලැබුණෙ චීන යුවාන් මිලියන දහදාහක් පමණයි. එකෙන් මං අර කලින් කියපු ණය ගෙවන්න හැකියාවක් නෑ.  එතකොට ඇත්ත කතාව තමයි මේ ඩොලර් එහෙමත් නැත්නම් මේ විදේශ විනිමය අර්බුදයක හිරවෙලාම තමයි දැන් මේ ඉන්නේ ඒ ප්‍රශ්නෙන් විසඳන්න තමයි මේ පොඩි පොඩි පැලැස්තර විසඳුම් දාන්නේ. මේක ඒ විදිහට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නම් නෙවෙයි. මේ දේශිය ආර්ථිකයක් ගොඩනගන්න යනවා කියලා කතාවත් ගොතලා මිනිස්සුන්ට කියලා. දැන් තියෙන එකම විකල්පය ආණ්ඩුවට නැවතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක සාකච්ජා කරන එක. අපිව බේරාගන්න කවුරුත් එන්නේ නෑ. කවුද එන්නේ එහෙනම් මෙහෙලහකට චීනේ එනවා නම් අපි බේරාගන්නේ ඩොලර් බිලියන් 5ක් විතර දීලා මේ ප්‍රශ්නෙන් ගොඩ අරගෙන. නැත්නම් අපිට තියෙන්නේ ‍71 වගේ සියලුම ආනයන දැඩි ආනයනය සීමා කරලා අවශ්‍යයි කියන භාණ්ඩ විතරක් ගෙන්නන්න පර්මිට් ක්‍රමයක් ආරම්භ කරන්න ඔය ක්‍රම දෙකෙන් එකකට යන්න වෙනවා''