අගමැති නෆ්තාලිගේ ආණ්ඩුවට අමාත්‍යවරියන්  9 ක් ?

ජාතිය ම එක්සත් කරන බවට ප්‍රතිඥා දෙමින් පත්වූ ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි...

by Sagarika Chathumali 14-06-2021 | 1:15 PM

''අපි අපට හැකි සියලු දේ සිදු කරනවා. එබැවින් කිසිවෙකුත් බියක් ඇති කර ගත යුතු නැහැ.. ඒවගේම සැමරුම්වලට සූදානම් වන අයට කියන්නෙ, අන් අයගේ වේදනාව මත සතුටු වෙන්න එපා.. අපි සතුරන් නොවෙයි. අපි එකම ජාතියක්...''

මේ ඊශ්‍රායලය නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නෆ්තාලි බෙනට් සිදු කළ ප්‍රකාශයයි. COLOMBO (NEWS1ST) :  ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය  ධුරයේ දිවුරුම් දුන් නෆ්තාලි බෙනට් නව රජය සියලුම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් ජාතිය එක්සත් කරන බවට ප්‍රතිඥා දී තිබේ. අභිනව අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය උපුටා දක්විමන් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය  නායකත්වය යටතේ රටේ අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා නව ප්‍රතිසංස්කරණ ගෙන එමින් අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි. අඛණ්ඩව වසර 12ක් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයේ බලය හෙඹවූ නෙතන්යාහුට බලය අහිමිවීමත් සමග දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී නෆ්තාලි බෙනට් විපක්ෂ දේශපාලන කණ්ඩායම් 8කින්යුත් පාර්ලිමේන්තු සන්ධානයකට නායකත්වය දෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්විය. බලය බෙදා ගැනීමේ ක්‍රමය යටතේ නෆ්තාලි 2023 සැප්තැම්බර් මාසය වන තුරු අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර ඉන් පසු යෙෂ් ආටීඩ් පක්ෂයේ නායක යාර් ලැපිඩ්ට ඉදිරි වසර දෙක සඳහා බලය පැවරේ. ඒ අනුව ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙඹවූ බෙන්ජමින් නෙතන්යාහු දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ ප්‍රධානියා මෙන්ම විපක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරනු ඇති. මන්ත්‍රීවරුන් නව සභාග ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු නෙතන්යාහු නෆ්තාලි වෙත ගොස් ඔහුට සුබ පැතූ අතර පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, යළි බලයට පැමිණෙන බවයි. මේ අතර 49 හැවිරිදි නව අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී පවසා ඇත්තේ, මෙය ශෝක දිනයක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩුවේ සිදුවූ වෙනසක් පමණක් බවත් ය.

''අපි අපට හැකි සියලු දේ සිදු කරනවා. එබැවින් කිසිවෙකුත් බියක් ඇති කර ගත යුතු නැහැ.. ඒවගේම සැමරුම්වලට සූදානම් වන අයට කියන්නෙ, අන් අයගේ වේදනාව මත සතුටු වෙන්න එපා.. අපි සතුරන් නොවෙයි. අපි එකම ජාතියක්...''

මේ අතර පලස්තීන නියෝජිතයන් ඊශ්‍රායලයේ නව රජය සම්බන්ධයෙන් පළ කර ඇත්තේ, හෙළා දකින ආකාරයේ ප්‍රතිචාරයකි.

''එය ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුත්තක්.. අපට සැම විට ම ඇත්තේ, පැහැදිලි ස්ථාවරයක්. අපට අවශ්‍ය 1967 දී දේශසීමා පැවති ආකාරයෙන් ජෙරුසලම අගනුවර වූ පලස්තීන රාජ්‍යයක් .''

ඒ පලස්තීන නායක මහමුද් අබ්බාස්ගේ ප්‍රකාශකයෙකු ඊශ්‍රායල නව රජය පත්වීමෙන් පසු සිදු කළ ප්‍රකාශයයි. මේ අතර ඊශ්‍රායල බල හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්  හමාස් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, සිය අයිතීන් යළි ලබා ගැනීම සඳහා ඉදිරියටත් සටන් කළ යුතු බවයි. මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ඊශ්‍රායල  නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තවදුරටත් දෙරට අතර සමීප හා දිගු කල් පවත්නා සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි. වසර 1996 සිට 1999 දක්වා සහ 2009 සිට 2021 දක්වා අඛණ්ඩව බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රාලයයේ පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හොඹවා තිබේ. මේ අතර නව සභාග ආණ්ඩුවේ කාන්තා අමාත්‍යවරුන් 9 දෙනෙකු සිටිනු ඇති බවට අපේකෂා කෙරේ. තව ද පළමු ස්වාධීන අරාබි පක්ෂය වන රාම් ද ඇතුළුව දේශපාලන දැක්ම අතින් සුවිශේෂී වෙනස්කම් සහිත පක්ෂ කිහිපයක් ම නව ඊශ්‍රායල ආණ්ඩු නියෝජනය කිරීම විශේෂත්වයකි. ඒ අනුව දේශපාලන විචාරකයින් පවසන්නේ, අග්‍රාමාත්‍ය නෆ්තාලිගේ නව රජය අවුරුදු 73 ක ඊශ්‍රායල ඉතිහාසයේ පැවති සියලු රජයන්ට වඩා වෙනස් ම ආකාරයක් ගනු ඇති බවටයි.