''ඊට එහා දෙයක් දැනුම් දීලා තිබුණ නම්, අපිට මීට වඩා ක්‍රමවේදයන් ගන්න තිබුණා'' - ඇමති රෝහිත

by Staff writer 14-06-2021 | 10:44 PM

COLOMBO (NEWS1ST) : ගිනිගත් එක්සප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (14) අධිකරණ අමාත්‍යංශයේදී පැවැත් විණ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසුවේ, පීඩාවට පත් වූ පිරිස්වලට සිය හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කරන බවයි. පසුව හිමිකම් පෑමට වන්දි ඉල්ලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''අද අපි තීරණය කළා. අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ගරු නීතිපතිතුමාගේ ඉල්ලීමත් අනුව කාටහරි හිමිකම් පෑම අවශ්‍යව තිබෙනවා නම් ඇත්ත වශයෙන්ම මේකෙන් පීඩාවට පත් වෙච්ච අය ඉන්නවා නම් ඔවුන්ට හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට වෙනම අපි වෙනම කමිටුවක් පත්කරලා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ලබා දිලා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුවත්පත්වල සහ අනෙකුත් තැන්වල දැන්වීම් පළ කරලා ඔවුන්ගේ හිමිකම් පෑමට වන්දි ඉල්ලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා ගන්න.''
මේ අතර ගිනිගත් නෞකාවෙන් තවමත් වෙරළ තීරයන්ට ගොඩ ගසන අපද්‍රව්‍ය පිළිබඳව ද මෙහිදි අදහස් පළ විය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ ය.
''අපි මතක තියා ගන්න ඕන ලංකාව කියන්නේ දූපතක් දූපත වටේට දියවැල් තියෙනවා ඒ නිසා කුඩා කුඩා කැබලි ඈතට ගසාගෙන යන්න පුළුවන්. එය මොන තරම් බරපතළ ද කියලා කියන්න වෙන්නේ ඒ සම්බන්ධයෙන් වන විශේෂඥයින්ට පමණයි. ඒ සම්බන්ධයෙන් මේ වෙලාවේ අධ්‍යනය කරමින් ඉන්නවා''
ප්‍රශ්නය -: මේ යාත්‍රාව සහ දේශිය නියෝජිතයාත් ,වරායේ නිලධාරීනුත් අතර පැහැදිලි කොමියුනිකේශන් එකක් තිබිලා තියෙනවා. මේ වගේ අනතුරුදායක බහලුමක් තියෙනවා මේකේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා.එහෙම අවදානමක් තිබෙද්දී ඒ අදානම වළක්වා නොගැනීමක් නෙවෙයිද මේ සිදු වුණේ? වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධ මහතා මාධ්‍යවේදි පැනයට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
''ඔබතුමාට ඒ තොරතුරු ලැබුණේ කොහොම ද කියලා මට නම් පැහැදිලිතාවයක් නෑ. මම වරාය විෂය භාර ආමාත්‍යවරයා හැටියට ,පිටත වරායේ මේ නැංගුරමේ තියෙන මේ නෞකාවේ යම් බහාලුමකින් යම් දෙයක් එළියට පිටවෙනවා කියලා තමයි දැන ගන්නට ලැබුණේ, ඒ නිසා තමයි ඒක පිටත වරායේ තිබුණේ, .පසුව ඔවුන් රාත්‍රී කාලයේදී කිව්වා. දුමක් ඇවිල්ලා ගින්නක් ඇති වුණා කියලා. ඒ සිදුවීම තමයි ඒ අය අපේ හාබර් මාස්ටර්ට ලබා දීලා තියෙන්නේ. ඊට එහා දෙයක් අපිට දැනුම් දීලා නෑ .ඇත්ත වශයෙන්ම අපිට ඊට වඩ එහා දෙයක් ලබා දිලා තිබුණා නම් අපි වාරය අධිකාරිය හැටියට අපිට මීට වඩා ක්‍රමවේදයන් ගන්න තිබුණා''
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා රුපියල් ලක්ෂ 20 ක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (14) නියෝග කළේ ය. ඒ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. විත්තිකාර රුසියානු ජාතික කපිතාන්වරයාට විදේශගතවීම වළක්වමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට පත්කරන ලෙස, මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. නඩුව ලබන 01 වනදා යළි කැඳවීමට නියමිතයි.