''GSP+ රැකගන්න රජය වහා කටයුතු කළ යුතුයි''

''GSP+ අහිමි වුණොත් රැකියා දහස් ගණනක් අහිමි වේවි'' - හිටපු අග්‍රාමාත්‍ය

by Staff writer 13-06-2021 | 10:57 PM

COLOMBO (NEWS1ST) :  යුරෝපා සංගමයෙන් ලද GSP+ ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම ගැන හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (13) විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ලංකාවට ලැබුණු මෙම GSP+ බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මෙම සහනය නැති වෙනු ඇතැයි අපට අවවාද කරලා තියෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අවදානමකට ලක්ව ඇති බවත් නෞකාවේ ගින්න හේතුවෙන් ධීවර කර්මාන්තයටත් ගැටලු මතු වී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසී ය. හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, GSP+ අහිමි වුණොත් දහස් ගණනකට රැකියා ද අහිමි වනු ඇති බවයි.
''මේ වන විට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙනඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇගළුම් කර්මාන්තය පමණයි.එවැනි අවස්ථාවක අපට GSP+ බදු සහනයත් අහිමි වුණොත් රුපියලේ වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවේවි. ඒ වගේම රැකියා දහස් ගණනක් අහිමි වෙන්නත් පුළුවනි. මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර GSP+ සහනය ආරක්ෂා කරන්න වහාම රජය කටයුතු කළ යුතුයි. ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කරන්න එපා. රට විනාශ කරන්න එපා කියා මම ආණ්ඩුවට කියනවා''