BREAKING : ''තෙල් මිල වැඩි කළේ, ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්''- අමාත්‍ය උදය ගම්මන්පිල

by Sagarika Chathumali 13-06-2021 | 3:17 PM

COLOMBO (NEWS1ST) : ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ , ජනාධිපතිවරයාගේත් , අග්‍රාමාත්‍යවරයාගේත් , අමාත්‍ය මණ්ඩලයේත් අනුමැතිය සහිතව බව  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (13) බලශක්ති අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. විෂය භාර අමාත්‍යවරයාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ නිකුත් කළ නිවේදනයට උදය ගම්මන්පිල මහතා එහිදි ප්‍රතිචාර දැක්වී ය. අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, 2021 ජුනි 09 වනදා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස්වී කරුණු ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉන්ධන මිල වැඩි කිරීමේ මෙම තිරණය ගත් බවයි. එදින එම රැස්වීම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ , මුදල් රාජ්‍ය අමත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ තමන් ද සහභාගී වූ බව අමාත්‍යවරයා පැවසී ය. අමාත්‍යවරයා සඳහන් කළේ, ජීවන වියදමට අවම බලපෑමක් එල්ල වන ආකාරයෙන් මිල වැඩි කිරීම සිදු කළ හැකි විකල්ප යෝජනා ගණනාවක් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු එහිදී එක් එක් ඉන්ධන වර්ගයේ මිල වැඩි කිරීමට තීරණය කළ බවයි. පසුව ජූනි 10 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල වැඩි කිරීම සඳහා එතුමාගේ ලිඛිත එකඟත්වය තමා වෙත එවූ බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) මාධ්‍ය හමුවේදී පැවසී ය. අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, තමා සිදු කළේ, ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ඇතුළු සමස්ත ආණ්ඩුව ගත්ත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීකම පමණක් බවයි. තවද දැන් ඉල්ලා අස් විය යුත්තේ තමා ද  පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා දැයි තීරණය කළ යුතුව ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. https://youtu.be/8lJ_mfU699M