නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ කොටු

දිනක් තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු දිනයේදී අත්අඩංගුවට..

by Hashini De Mel 13-06-2021 | 8:40 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී ඊයේ (12) සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර මත්පැන් සාද පැවැත්වීම, ප්‍රියසම්භාෂණ පැවැත්වීම පිළිබඳ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.