COLOMBO (NEWS1ST) : තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගත් අත්තනෝමතික, සාහසික තීන්දුව දෙවරක් නොසිතා වහා හකුලා ගෙන තෙල් මිල අඩු කරන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අවධාරණය කර සිටී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොරෝනා හමුවේ දැඩි පීඩනයට ලක්ව වේලක් නොකා, වේලක් කමින් දුක් විඳින ජනතාවක් සිටින රටක ආණ්ඩුව බල උන්මාදයෙන් ද වගකීම් විරහිතව ද තෙල් මිල ඉහළ දැමීමේ මෙම අත්තනෝමතික තීන්දුව ගෙන ඇති බවයි.
තව ද , ආණ්ඩුවේ පවතින බල අරගලය ආණ්ඩුව විසින් විසඳා ගත යුත්තක් බවත් ජනතාව එහි වින්දිතයන් බවට පත්කරන තුරු බලා සිටීමට විපක්ෂය සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටී.
ඉතිහාසයේ නිර්ලජ්ජිතම සහ නින්දාසහගත ඉන්ධන මිල වැඩි කිරීමට ගත් සාමුහික තීන්දුව එය එසේ නොවන බව පවසමින් තීන්දුව ගත්තේ කවුදැයි කියා හෝ නොදන්නා තරමටම ආණ්ඩුව විහිළුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පවසා තිබේ.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සිහිපත් කර සිටින්නේ, මෙවන් සිල්ලර, ප්‍රාථමික ගනයේ විහිළු වසර 2ක් තිස්සේ මෙරට ජනතාව අත්දැක ඇති බවයි.
