විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්

''තෙල්මිල වැඩි කිරීමේ තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු මාර්ගයක් නැහැ '' - විපක්ෂ නායක

by Sagarika Chathumali 12-06-2021 | 10:14 PM

COLOMBO (NEWS1ST) :  ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය රිවර්ස් කරන්නට ආණ්ඩුවට බල කෙරෙන ජනමතයක් මේ වනවිට ත් නිර්මාණය වී අවසන් බවයි. ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීම මගින් ඔහු නිරූපණය කරන්නේ, අදාළ කටයුත්ත වෙනුවෙන් කසකරුවකුගේ භූමිකාව බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කර සිටී. එක් කඩතොල්ලක් මකා ගන්නට ගොස් ලේකම්වරයා කඩතොලු රැසක් නිර්මාණය කර ඇති බවත් රටේ සමස්ත ජනතාවගේ ගෙල සිර කොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගැනීමට තරම් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන ඇති බවත්  විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තව ද එහි සඳහන් වන්නේ, රට පාලන කරන්නේ, තමන්ගේ පක්ෂය දැයි, කියා හෝ නොදන්නා ලෙස පොදුජන පෙරමුණු ලේකම්වරයාගේ නිකුත් කර ඇති නිවේදනය මගින් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් ඇති බරපතළ අර්බූදයක ගිනි පුපුරු පිටතට විසි වී ඇති බවයි. මේ අතර උද්ගතව ඇති තත්ත්වයට අදාළව විපක්ෂ නායකවරයා ආණ්ඩුවට සහ පොදුජන පෙරමුණට ප්‍රශ්න කිහිපයක් ද යොමු කර සිටී... ⭕ ආණ්ඩුවට හොරෙන් තෙල් මිල ඉහළ දැමීමේ තීන්දුව එක් ඇමතිවරයෙක් හිතුමනාපයට ගත්තේ කොහොම ද? , එසේ නම්, කැබිනට් මණ්ඩලය සාමුහිකත්වය උල්ලංඝණය කොට මෙවැනි තීන්දු ගන්නා තුරු ජනපති, අගමැති ඇතුළු පාර්ශව කුමක් කළේ ද?මෙවන් තීන්දු ගනු ලබන්නේ, කැබිනට් මණ්ඩලය විසින් ද ගනු ලබන තීන්දු ප්‍රකාරව බැවින් ආදාළ තීන්දුවට එක් අමාත්‍යවරයෙක් චූදිතයෙක් වන්නේ කොහොම ද?ජීවන වියදම් පිළිබඳව කැබිනට් අනුකාරක මණ්ඩලය නියෝජනය කරනු ලබන්නේ, ජනාධිපති, අගමැති, වෙළඳ ඇමති , කෘෂිකර්ම ඇමති, ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති, පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති යන පිරිස් වන අතර ඔවුන් විසින් තෙල් මිල ඉහළ නංවන බවට ඒකමතිකව තීන්දුවක් ගත් බව විෂයභාර ඇමති පැවසූ අතර එසේ නම්, එය සත්‍යයෙන් තොර ද ? එසේ නම් අදාළ කැබිනට් අනුකාරක සභාව හුදු මනංකල්පිතයක් ද? ඇමතිවරයා සිටින්නේ, එම පිරිසටත් ඉහළින් ද?ආණ්ඩුව මීට පෙර අවස්ථා රැසකදීම ජනතාද්‍රෝහි තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ගත් අතර ඒ සියල්ලෙහිම දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ පොදුජන පෙරමුණ මෙවර හිටි අඩියේ ම මෙවන් විහිලු සහගත නිවේදන නිකුත් කිරීමෙන් ගම්‍ය වන්නේ, ආණ්ඩුව තුළම පවතින දැඩිඩ අරබුදකාරි ස්වරූපය නොවේ ද? තවද විපක්ෂ නායකවරයා පවසන්නේ, වත්මන් ආණ්ඩුව තුන්බියට හසුවූ විශාලාවක් බවට රට පත්කොට ඇති බවත් මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට යළි ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට භාර දී ඉල්ලා අස්වීම බවත් ය.